කදිරගාමර් ඝාතනයට සම්බන්ධ පුද්ගලයෙකු ට මාස 82ක සිර දඬුවමක්

12

හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනයට සම්බන්ධ වූ හිටපු එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශ සාමාජිකයෙකුට ජර්මානු අධිකරණයක් මගින් මාස 82ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

ජර්මනියේ පුද්ගලිකත්ව රෙගුලාසිවලට අනුව නවනීදන් ජී. ලෙස පමණක් හඳුන්වා ඇති 39 හැවිරිදි සැකකරු කදිරගාමර් මහතා ඝාතනය සඳහා අවශ්‍ය වැදගත් තොරතුරු ලබාදුන් පුද්ගලයා බවටයි අනාවරණ වී ඇත්තේ.

ඒ අනුව ස්ටුට්ගාට් ප්‍රාදේශීය අධිකරණය මගින් ඔහුට වසර 6යි මාස 10ක සිර දඬුවමක් නියම කර ඇති බවයි වාර්තා වන්නේ.

නවනීදන් ජී. නම් සැකකරු 2012 වසරේදී ජර්මනියේ සරණාගතභාවය ලබා ගෙන තිබෙනවා.

එම සරණාගත පරීක්ෂණයේදී ඔහු පවසා ඇත්තේ තමා කදිරගාමර් මහතාගේ ඝාතනයට අවශ්‍ය තොරතුරු සැපයූ බවයි.

කෙසේ වෙතත් ඔහු පසුව දක්වා තිබුනේ තමාගේ ප්‍රකාශය වැරදි ලෙසින් පරිවර්තනය කර ඇති බවක්.

නමුත්, ඔහුගේ ප්‍රකාශය පදනම් කර ගනිමින්, කදිරගාමර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සිර දඬුවම් නියම කිරීමට ජර්මන් අධිකරණය තීරණය කර තිබෙනවා.

දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමේ හැකියාවක් ද පවතින බව ජර්මානු ප්‍රවෘත්ති සේවා සඳහන් කළා.

නවනීතන් ජී. නැමැත්තා අත්අඩංගුවට පත්ව ඇත්තේ බටහිර ජර්මනියේ පිහිටි ඔහුගේ නිවසේදී.

ජර්මානු පොලිසිය සහ එරට බලධාරීන් පසුගිය 16 වනදා ඔහුගේ නිවස පරීක්ෂා කර තිබෙන අතර ඒ අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගත් බවටයි වාර්තා වූයේ.

විදෙස් ත්‍රස්ත සංවිධානයක සාමාජිකත්වය, ඝාතනය සහ ඝාතනය කිරීමට උත්සාහ කිරීම යන චෝදනා එල්ල කරමින් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙම පුද්ගලයා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ රහස් පොලිසියේ සාමාජිකයකු ලෙස කටයුතු කර ඇති බවත් 2005 වසරේදී හිටපු විදේශ කටයුතු අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනයට කිරීමට සම්බන්ධ වී ඇති බවත් ඊ.පී.ඩී.පී.පක්ෂයේ නායක ඩග්ලස් දේවානන්දා මහතා ඝාතනය කිරීමට උත්සාහ කර ඇති බවත් ජර්මානු බලධාරින් අනාවරණ කර තිබෙනවා.

මෙම සැකකරු ජර්මනියට පැමිණ ඇත්තේ කෙසේ ද යන්න පිළිබඳ නිශ්චිත තොරතුරු කිසිවක් වාර්තා වී නැහැ..

හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා 2005 අගෝස්තු 12 වනදා ඝාතනයට ලක්වුණා.

ඒ කොළඹ පිහිටි ඔහුගේ නිවාසයේ පිහිනුම් තටාකය ආසන්නයේ දී ස්නයිපර් තුවක්කුකරුවෙකුගේ වෙඩි ප්‍රහරයක ට ලක්වීමෙන්.

එල්.ටී.ටී.ඊ. සංවිධානය, ත්‍රස්ත සංවිධානයක් බව ජර්මානු රජය ද පිළිගෙන තිබෙනවා.

ලක්ෂ්මන් කදිර්ගමාර් මහතා 1994 සිට 2001 දක්වා සහ 2001 සිට ඔහුගේ මරණය දක්වා විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළා.

එම කාලය තුළ ලොව පුරා රාජ්‍යයන් විසින් එල්.ටී.ටී.ඊ.ය තහනම් කිරීම සඳහා ඔහු දායක වී තිබෙනවා.

අභාවයෙන් පසු ශ්‍රී ලාංකිකයකුට පිරිනැමෙන ඉහළම ගෞරව සම්මානය වන ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ ගෞරව නාමය ලක්ෂ්මන් කදිරගාමර් මහතාට පිරිනැමීට රජය පියවර ගත්තා.

ඒ මහතා මෙරටින් බිහි වූ විශිෂ්ටතම රාජ්‍ය තාන්ත්‍රිකයෙක්.

Your Comments