ඔස්ට්‍රේලියාවට වාර්තා පිහිටුවීමට ඉඩ දෙයි – ලකුණු 134ක විශිෂ්ට ජයක්

9

ශ්‍රී ලංකාවට එරෙහි පළමු 20- 20තරගයෙන් සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 134ක විශිෂ්ට ජයක් හිමිකර ගත්තා.

තරගයේ කාසිය වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග පළමුව පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව ඔස්ට්‍රේලියා ඉනිම අරඹමින් පිටියට පිවිසියේ නායක ඒරෝන් ෆින්ච් සහා ඩේවිඩ් වෝනර්.

ඔවුන් ඉණිමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 122ක් සබඳතාවක් ගොඩනැගුවා.

නායක ඒරෝන් ෆින්ච් රැස් කළ ලකුණු සංඛ්‍යාව 64ක්. ඊට හයේ පහර 3ක් සහ හතරේ පහර 08ක් ඇතුලත්.

මෙය ෆින්ච් ගේ 10 වන 20 -20 අර්ධ ශතකයයි.

ෆින්ච් ගේ දැවී යාමෙන් පිටියට පිවිසියේ ග්ලේන් මැක්ස්වෙල්.

වෝනර් සමග එක් වූ මැක්ස්වෙල් ඔස්ට්‍රේලියා ඉණිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 107ක සබඳතාවක් පවත්වා ගත්තා.

ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 62ක් වාර්තා කළේ හයේ පහර 3ක් සහ හතරේ පහර 07ක් සමගින්.

එය ඔහුගේ 7 වන 20-20 අර්ධ ශතකයයි.

ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් මංගල 20 යි 20 ශතකය වාර්තා කරමින් නොදැවී ලකුණු 100 ක් රැස් කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 10 ක් සමගින්.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් 20-20 තරගයක වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කළ පිතිකරු ලෙස ද වෝනර් අද වාර්තා අතරට එක්වුණා.

වෝනර් අද 33 වන උපන් දිනය සමරන අතර ඇතැම් වාර්තා සඳහන් කළේ ශ්‍රී ලංකාවෙන් වෝනර් ට අමතක නොවන උපන් දින ත්‍යාගයක් පිරි නැමූ බවයි.

ඔස්ට්‍රේලියාව කඩුළු 2කට ලබා ගත් ලකුණු 233 ද අද වාර්තා අතරට එක් වූයේ ශ්‍රී ලංකාවට එරෙහිව ඔස්ට්‍රේලියාව 20 යි 20 තරගයකදී රැස් කළ දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

ඒ අතරම මෙම ජයග්‍රහණය වාර්තා අතරට එක්වන්නේ ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමකට එරෙහිව සීමිත පන්දුවාර ක්‍රිකට් තරගයකදී ඔස්ට්‍රේලියාව වාර්තා කළ ලකුණු පරතරය අතින් ඉහළම ජයග්‍රහණය ලෙසයි.

කඩුළු දවා ගත්තේ ළක්ෂාන් සඳකැන් සහ දසුන් ශානකයි.

ලකුණු 234ක දැවැන්ත ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 99ක් පමණයි.

ධනුශ්ක ගුණතිලක ලකුණු 11 කට දැවී ගියා.

කුසල් මෙන්ඩිස් ට අදත් ලකුණු රැස් කර ගැනීමට හැකිවූයේ නැහැ.

භානුක රාජපක්ෂත් ලකුණු 2 කට දැවී ගියා.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ළකුණු ලාභියා වූ කුසල් ජනිත් පෙරේරා ලකුණු 16යි.

ඕෂද ප්‍රනාන්දු ලකුණු 13 යි. දසුන් ශානක ලකුණු 17යි.

නොදැවී කඩුල්ලේ රැඳි සිටි නායක ලසිත් මාලිංග ලකුණු 13යි.

ඇඩම් සැම්පා කඩුලු 3ක් ද, මිචෙල් ස්ටාක් සහ පැට් කමින්ස් කඩුලු 2 බැගින් ද දවා ගත්තා.

තරගය ඇඩිලේඩ්හිදි පැවැත්වුණා.

ඒ අනුව තරගාවලියේ 1-0 ලෙස ඔස්ට්‍රේලියාව ඉදිරියෙන් පසුවන අතර, දෙවන 20 -20 තරගය ලබන 30 වනදා ද තුන්වන තරගය ලබන 01 වනදා ද පැවැත්වෙනු ඇති.

Your Comments