එකම තරගයේදී වාර්තා තුනක් තැබූ මාලිගෙන් ‘වැඩ ගනීද?’ (VIDEO)

13

තරග ජය ගැනීමට නම් ක්‍රීඩකයින් අවදානමක් ගත යුතු බව ශ‍්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පවසනවා.

නවසීලන්තයට එරෙහි තෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේ දී පිට පිට පන්දු 4කදී කඩුලු 4ක් දවා ගත් මාලිංග තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේ දී ඒ බව සඳහන් කළා.

වැඩිදුරටත් මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන් ලසිත් මාලිංග.

මාලිගෙන් 'වැඩ ගනීද?' එකම තරගයේදී වාර්තා තුනක් තැබූ මාලිංග කියූ දේ …

මාලිගෙන් 'වැඩ ගනීද?'එකම තරගයේදී වාර්තා තුනක් තැබූ මාලිංග කියූ දේ …MORE >>> https://bit.ly/2lZggpz

Posted by Sports24 on Saturday, 7 September 2019

—————————————————————-

නවසීලන්තයට එරෙහිව පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ පැවැති තෙවැනි විස්සයි-20 තරගයේදී සුවිශේෂී වාර්තා තුනකට හිමිකම් කීමට ශ්‍රී ලංකා විස්සයි-20 පිලේ නායක ලසිත් මාලිංග සමත්විය. විස්සයි-20 තරග අංශයේ කඩුලු 100 ක් දවා ගත් විස්සයි-20 තරගවල කඩුලු ත්‍රිත්ව 2 ක් ලබා ලොව පළමු පන්දු යවන්නාගේ ලෝක වාර්තාවලට හිමිකම් කී මාලිංග පිට පිට පන්දු 4 කදී කඩුලු 4 ක් දවා ගත් ලොව දෙවැනි පන්දු යවන්නා බවට පත් වෙමින් එම සුවිශේෂ වාර්තා 3 ට හිමිකම් කීවේය.

එහිදී ප්‍රථමයෙන්ම විස්සයි-20 තරග ඉතිහාසයේ කඩුලු 100 ක් දවා ගත් ලොව පළමු පන්දු යවන්නා බවට පත් වූ මාලිංග, ඊළඟට යවන ලද පන්දු 2 දී තවත් කඩුලු 2 ක් දවා ගනිමින් කඩුලු ත්‍රිත්ව 2 කට හිමිකම් කී ලොව පළමු වැන්නාගේ ලෝක වාර්තාවලට හිමිකම කීවේය. නවසීලන්ත පිලේ වඩාත්ම පළපුරුදු පිතිකරුවා වූ රොස් ටේලර්ව සිව්වැනි පන්දුවෙන් දවා ගත් මාලිංග පිට පිට පන්දු 4 කදී කඩුලු 4 ක්දවා ගත් ලොව දෙවැනි විස්සයි-20 ක්‍රීඩකයා බවට ද පත්විය. ඇෆ්ගනිස්තාන පිලේ රශීඩ් ඛාන් පිට පිට පන්දු 4 කදී කඩුලු 4 ක් දවා ගත් ලොව පළමු විස්සයි-20 ක්‍රීඩකයා වන්නේය.

මාලිංගගේ පළමු ගොදුර බවට පත්වූයේ කොලින් මුන්රෝය. තෙවැනි පන්දුවාරයේ පළමු පන්දුව කෙළින්ම කඩුල්ලේ වද්දවාලමින් මුන්රෝව දවා ගත් මාලිංග සිය විස්සයි-20 තරග දිවියේ කඩුලු 100 සීමාව ඉක්මවා යන ලද්දේ ක්‍රීඩා කරන ලද 76 වැනි තරගයේදීය. අනතුරුව හමීෂ් රදර්ෆර්ඩ් සහ කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් දවා ගත් මාලිංග කඩුලු ත්‍රිත්ව දෙකකට හිමිකම් කී ලොව පළමු පන්දු යවන්නාගේ ලෝක වාර්තාවට හිමිකම් කීවේය. අනතුරුව යවන ලද සිව්වැනි පන්දුවේදී රොස් ටේලර්ගේ කඩුල්ල දවා ගනිමින් විස්සයි-20 තරගවල පන්දු 4 කදී කඩුලු 4 ක් දවා ගත් ලොව දෙවැනි පන්දු යවන්නා බවටද පත්වූවේය.

විස්සයි-20 තරග දිවියේ නොවුණත් පිට පිට පන්දු 4 කදී කඩුලු 4 ක් දවා ගත් පළමු අවස්ථාව ලෙසින් මාලිංගගේ දක්ෂතාවය ඉතිහාසයට එක් විය. මාලිංග මීට පෙර එක්දින තරග අංශය යටතේ පිට පිට පන්දු 4 කදී කඩුලු 4 ක් දවා ගැනීමට සමත්ව සිටින්නේය. 2007 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගයේදී පිට පිට පන්දු 4 කදී කඩුලු 4 ක් දවා ගනිමින් ලෝක පූජිත පන්දු යවන්නකු බවට පත්වූවේය.

ඉන් නොනැවතුණු මාලිංග තෙවැනි පන්දුවාරයේදී තවත් කඩුල්ලක් දවා ගනිමින් තරගයේ 5 වැනි පන්දුවාරය ක්‍රියාත්මක වන විට කඩුලු 5 ක් දවා ගැනීමට සමත්වූවේය. මාලිංගගේ මෙම සුවිශේෂී පන්දු යැවීම ප්‍රධාන කොට එම තරගයේදී ලකුණු 37ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදාවිය..

විස්සයි-20 තරගයකදී කිසිසේත්ම ප්‍රමාණවත් නොවන ලකුණු 125 ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත පිල පන්දුවාර 16 කදී ලකුණු 88 කට සීමා කිරීමට ලසිත් මාලිංග ප්‍රමුඛ පන්දු යවන්නෝ සමත්වීම මත තරග 3 කින් සමන්විත දෙරට අතර විස්සයි-20 තරගාවලිය 2-1 ක් ලෙස ගෞරවාන්විතව අවසන් කර ගැනීමේ අවස්ථාවද ශ්‍රී ලංකා කණ්ඩායමට උදා විය.

පන්දු යැවීමේදී දක්වන ලද දක්ෂතා ප්‍රධාන කොට තරගයේ වීරයා ලෙසින් ලසිත් මාලිංග සම්මාන දිනා ගනිද්දී තරගාවලියේ වීරයා ලෙසින් නවසීලන්ත නායක ටිම් සවුති සම්මාන දිනාගත්තේය.

(උපුටා ගැනීම – cricket.lk)

Your Comments