උදයංග වීරතුංග කටුනායක දී අල්ලයි

54

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු අද අලුයම අත්අඩංගුවට ගෙන ඇත්තේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් විසින්.

හිටපු තානාපතිවරයා, ඕමානයේ මස්කට් සිට පැමිණි ශ්‍රීලංකන් ගුවන් සේවයේ යූ. එල්.- 208 යානයෙන් අද අලුයම 4.37 ට දිවයිනට පැමිණ තිබුණා.

උදයංග වීරතුංග මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබා ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.

මිග් යනා ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තු ලැබ සිටියා.

ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගය අනුවයි.

පසුගිය රජය සමයේ ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම්කර තිබෙන රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තුවක් නිකුත් කළේ 2016 ඔක්තෝබර් 20 වන දා.

අධිකරණය නියෝගය පැනවූයේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන්.

අත් අඩංගුවට ගැනීමට නියමිතව සිටි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයාංග වීරතුංග මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින බවටයි තොරතුරු ලැබී තිබුණේ.

නමුත් ඔහු පදිංචිව සිටින ලිපිනය අනාවරණය කර ගැනීමට නොහැකිව ඇති බවටයි ප්‍රකාශ වී තිබුණේ.

කෙසේ වෙතත් බීබීසී ලෝක සේවයේ සංදේශය වෙත 2015 ජුනි 21 යොමු කර තිබුණු නිවේදනයකින්, උදයංග වීරතුංග මහතා දන්වා තිබුනේ තමන් වෙසෙන්නේ යුක්රේනයේ බවයි.

Your Comments