අයහපත් කාළගුණයෙන් 80,000ක් පීඩාවට
නායයාමේ අවදානම් නිවේදනය තවදුරටත් - තද වැසි හෙට දක්වා

23

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් තව දුරටත් දිවයිනේ දිස්ත්‍රික්ක 08කට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ ගාල්ල, මාතර, හම්බන්තොට, කළුතර, කොළඹ, ගම්පහ, නුවර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක වලට වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් බලපෑම් එල්ල වි ඇති බවයි.
මේ වන විට පවුල් 20,815කට අයත් පුද්ගලයින් 80,007 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ.
ඔවුන් ආරක්ෂිත ස්ථාන 42 ක රඳවා සිටිනවා.
එසේම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පූර්ණ නිවාස හානි 30ක් සහ අර්ධ හානි සංඛ්‍යාව 819 ක් වාර්තා වන බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.
මේ අතර කළු, ගිං සහ නිල්වලා යන ගංගා වල සහ අත්තනගලු ඔයේ ජල මට්ටම ද තවදුරටත් ඉහල යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කලා.
එමෙන්ම කෑගල්ල, ගාල්ල, කළුතර, රත්නපුර සහ මාතර දිස්ත්‍රික්කවල අවදානම් සහිත ප්‍රදේශවලට පනවා ඇති නාය යාමේ අනතුරු ඇගවීම හෙට පෙරවරු 10 දක්වා දීර්ඝ කළ බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේ.
මේ අතර පීඩාවට පත් වු ජනතාවට අවශ්‍ය සහන සැලසීමේ කටයුතු විධිමත්ව සිදු වන බවයි අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසුවේ.

මේ අතර දිවයිනේ ප්‍රදේශ රැසකට බලපෑම් එල්ල කළ අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හෙට සිට තරමක අඩුවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කලා.
කෙසේ වෙතත්, බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වලට අද දිනයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ අනුෂා වර්ණසුරිය මහත්මිය ප්‍රකාශ කලේ.

Your Comments