අගමැති නෝර්වේ විදේශ කටයුතු ඇමතිනිය හමුවෙයි

38

සාමය සහ සංහිඳියාව ස්ථාපිත කරලීමේ අසීරු කාර්යභාරය සාර්ථක කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මුළු මහත් ලෝකයටම ආදර්ශයක් සපයමින් සිටින බව නෝර්වේ විදේශ කටයුතු ඇමතිනි ඉනේ එරික්සන් පවසනවා.
නෝර්වේ රාජ්‍යයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඔස්ලෝ නුවරදී ඊයේ පැවති සාකච්ඡාවලදීයි ඇය මේ බව ප්‍රකාශ කර ඇත්තේ.
මෙරට සාමය හා සංහිඳියා වැඩපිළිවෙල සඳහා නෝර්වේ රාජ්‍යයේ පූර්ණ සහය ලබාදෙන බව ද ඇය මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.
රාජ්‍යයන් දෙක අතර ආර්ථික හා දේශපාලන සබඳතා ශක්තිමත් කරලීමේ සැලසුම් හා උපාය මාර්ග පිළිබඳව ද එහිදී අවධානය යොමුව ඇති බව සඳහන්.
සාගර ආශ්‍රිත රටවල් නියෝජනය කරන විවිධ සංවිධාන අතර, සහයෝගයක් හා ඒකමිතියක් ඇති කරලීමේ අවශ්‍යතාව පිළිබඳව ද මෙහිදී අදහස් හුවමාරු වුණා.
එමෙන්ම, අග්‍රාමාත්‍යවරයා ඊයේ නෝර්වේ හි හෝර්ටන් නුවර පිහිටි කොන්ස්බර්ග් මෙරිටයිම් සහ කොන්ස්බර්ග් නෝර්කොන්ට්‍රෝල් මධ්‍යස්ථානයේ සංචාරයක නිරත වී තිබෙනවා.

 

Your Comments