අකිල ධනංජයට මෙවර වසරක තහනමක්

15

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයට වසරක තරග තහනමක් පනවා තිබෙනවා.

ඒ ඔහුගේ පන්දු යැවීම් ඉරියව්වේ නීති විරෝධී බව ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් යළි තීරණය කිරීම හේතුවෙන්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ තරග තහනම 2020 අගෝස්තු 29 දක්වා බලපැවැත්වෙනු ඇති බවක්.

ඒ අනුව අකිලට වසරක කාලයක් අන්තර්ජාතික ක්‍රිකට් තරග වෙනුවෙන් සහභාගී විය නොහැකියි.

පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් පරීක්ෂණයකට මුහුණ දීම සඳහා අකිල ධනංජය පසුගිය 28 වනදා ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව ගියා.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන පරිපාලන මෙහෙයුම් නිලධාරී ජෙරම් ජයරත්න මහතා ද සමගින්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දඟ පන්දු යැවීමේ පුහුණුකරුවකු නොසිටිම හේතුවෙනුයි, ජෙරම් ජයරත්න මහතා මේ සඳහා සභාභාගී වූයේ.

නවසිලන්තයට එරෙහිව පසුගිය 18 වැනිදා ගාල්ලේදී නිමා වූ පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් සැකයක් පවතින බව විනිසුරුවරුන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට වාර්තා කර තිබුණා.

එතැන් සිට දින 14 ක් ඇතුළත සැකයට පාත්‍රවූ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් අකිල ධනංජය පරීක්‍ෂණයකට පෙනී සිටිය යුතුවූ අතර, එහි වාර්තාව නිකුත් වනතුරු ඔහුට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද හිමිවුයේ නැහැ.

එහි වාර්තාවට අනුව ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්මත අංශ 15 සීමාව ඉක්මවා යන බවට අණාවරණය වී තිබෙනවා.

පන්දුවාර විස්සයි විස්ස කඩුලු 16ක හිමිකරුවකු වන අකිල ධනංජය ටෙස්ට් තරග 6කදී කඩුලු 33 ක් ද, එක්දින තරග 36 කදී කඩුලු 51ක් ද දවාගෙන තිබෙනවා.

අකිල ධනංජයගෙ පන්දු යැවීමේ ඉරියව්ව නීතිවිරෝධී බවටICC විසන් තීරණය කළ දෙවන අවස්ථාව මෙයයි.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී පළමු වරට අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බවට ජාත්‍යන්තර විනිසුරුවරුන් වාර්තා කළ අතර ඒ පිළිබඳ පැවති පරීක්ෂණයේදී ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නීතිවිරෝධී බවට තීන්දු වී තිබුණා.

ඉරියව්ව නිවැරදි කර යළි තරග බිමට පිවිසි අකිල ධනංජයගේ පන්දු යැවීමේ නව ඉරියව්වට මෙම වසර මුලදී අනුමැතිය හිමිවූවා.

  • 2018 නොවැම්බර් – පළමු වරට චෝදනාවට ලක්වීම
  • 2018 දෙසැම්බර් – ඉරියව්ව නීතිවිරෝධී බවට තහවුරුවීම
  • 2019 පෙබරවාරි – නව ඉරියව්වට අනුමැතිය
  • 2019 මාර්තු – නව ඉරියව්වෙන් පළමු එක්දින තරගය
  • 2019 අගෝස්තු – නව ඉරියව්වෙන් පළමු ටෙස්ට් තරගය
  • 2019 අගෝස්තු – දෙවන වරට චෝදනාවට ලක්වීම

අකිල ධනංජයට අමතරව, ශ්‍රී ලංකා නවසීලන්ත ප්‍රථම ටෙස්ට් තරගයේ පන්දුවාර කිහිපයක් යැවු නවසීලන්ත නායක කේන් විලියම්සන්ගේ ඉරියව්ව ද නීතිවිරෝධී බවට සැකකරන බව තරග විනිසුරුවන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කර තිබෙනවා.

Your Comments