රුධිර වහනයෙන් හා වේදනාවෙන් තොර 'ශ්‍රි ලංකාවේ පළමු ENT' සැත්කම (සංවේදී දර්ශන සහිතයි)

 10/12/2017 - 18:41
509 reads

ස්වරාලයේ ආසාත්මිකතා මෙන්ම උගුරෙහි ඇතිවන පිළිකා තත්ත්ව ඇතුළු උගුර කන නාසය සම්බන්ධ  සැත්කම් රුධිර වහනයකින් හා වේදනාවෙන් තොරව සිදුකිරීමේ Coblation Surgery නැමැති ශෛල්‍ය කර්මය ප්‍රථමවරට කුලියාපිටිය මූලික රෝහලේ දී  සාර්ථකව සිදු කර තිබෙනවා.

සාමාන්‍ය සැත්කමකදී රෝගියාගේ රුධිර වහනය බහුල වුවත් මෙම ක්‍රමය මගින් කිසිදු වේදනාවකින් තොරව රුධිරවහනය අවම මට්ටමේ පවත්වාගනිමින් සැත්කම සිදුකිරීමට හැකිවීම හා සැත්කමෙන් පසුව සාමාන්‍ය පරිදි රෝගියාට කෑම බීම ආදී එදිනෙදා අත්‍යාවශ්‍ය කටයුතුවල නිරතවීමට හැකියාව ලැබීම විශේෂත්වයක් බවයි විශේෂඥ වෛද්‍ය රිස්නි සක්කාෆ් මහතා පවසන්නේ.

පැරණි ක්‍රමයේදී උෂ්ණත්වය සෙලිසියස් අංශක 90ක පමණ වුවත් හඳුන්වාදුන් මෙම ක්‍රමයේදී උෂ්නත්වය සෙල්සියස් අංශක 40ට අඩු වීම හේතුවෙන් රෝගියාට අතුරු ආබාධයකින් හා සංකූලතාවයකින් තොරව ඊට මුහුණදිය හැකි බවත් කොළඹ ජාතික රෝහලේ හැරුණුකොට පිටපළාතක අදාළ සැත්කම කළ ප්‍රථම අවස්ථාව මෙයවීම ද විශේෂත්වයක් බවත් විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙනවා.

වෛද්‍යවරයා ඇමරිකාවේදී මේ පිළිබඳව ලද විශේෂ පුහුණුව අනුව අද (12) මෙම සැත්කම පළමු වරට කුලියාපිටිය මූලික රෝහලේ සිදුකර තිබෙනවා.

රුධිර වහනයෙන් හා වේදනාවෙන් තොර වාෂ්පීයකරණ කියාවලියක් මගින් මෙම සැත්කම සිදුකරනු ලබන බවයි විශේෂඥ වෛද්‍ය රිස්නි සක්කාෆ් මහතා සඳහන් කළේ.

මෙවැනි රෝග සඟවාගෙන නොසිට වහා වෛද්‍ය ප්‍රථිකාර ලබාගන්නා ලෙසට කුලියාපිටිය මූලික රෝහලේ උගුර කන නාසය සම්බන්ධ සායන අංශය සිහිපත් කරනවා.

ගැටලුවක් වන ඕනෑම් අවස්ථාවක 0777790339 අංකයෙන් විශේෂඥ වෛද්‍ය රිස්නි සක්කාෆ් මහතා ඇමතීමෙන් වැඩි විස්තර ලබාගැනීමට හැකි බවද කුලියාපිටිය මූලික රෝහල දන්වා සිටිනවා.

අද (12) අදාළ සැත්කම් 2ක් සිදුකළ අතර වයස අවුරුදු 7 හා 12  දරුවන් දෙදෙනෙකු එම සැත්කමට මුහුණ දුන්නා.

කුලියාපිටිය මූලික රෝහල් වෛද්‍ය අධිකාරිතුමිය, වෛද්‍ය හා හෙද කාර්යමණ්ඩලය මෙන්ම කණිෂ්ඨ කාර්ය මණ්ඩලයද දැක්වූ සහයෝගය මෙම සැත්කම් සාර්ථක කරගන්නට හේතු වූ බවත්  විශේෂඥ වෛද්‍ය රිස්නි සක්කාෆ් මහතා වැඩිදුරටත් පැවසුවා.

(කුලියාපිටිය - උපේන්ද්‍ර සේරසිංහ)       

Comments