තුරුළට වී සුරතල් බස් දෙඩූ පුංචි දිනුල්‍යා බැලීමට ජනපති ඇගේ නිවසට

 03/02/2018 - 13:48
137 reads

කවුඩුල්ල ප්‍රදේශයේ පැවති රැස්වීමකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාවෙත  වෙත දිව ආ පුංචි දියණියක් ජනාධිපතිතුමාගේ තුරුළට වී සුරතල් බස් දොඩමින් සිටිනු දක්නට ලැබුණේ පසුගිය සැප්තැම්බර් මාසයේදී.

ජනපති හමුවීමට පැමිණි මෙම පුංචි අමුත්තිය නමින් දිනුල්‍යා චනාදි.

පදිංචිව සිටින්නේ  මැදිරිගිරිය, අමුණුගම ප්‍රදේශයේ.

ඊයේ  (01) මැදිරිගිරිය ප්‍රදේශයේ පැවති වැඩසටහන් රැසකට සහභාගී වූ ජනාධිපතිවරයා  මෙම සුරතල් දියණියගේ  නිවසට  ගොඩවැදීමට අමතක කළේ නැහැ.

කාර්ය බහුල දෛනික කාලසටහනක් අතර වෙහෙස වී සිටියද, මහත් සෙනෙහසින් යුතුව දැරිය සමග කථා බහක නිරතවූ බවයි වාර්තා වුණේ.

දරුවන් දෙදෙනෙකුගේ පවුලේ වැඩිමලා වූ දිනුල්‍යා චනාදි, බහ තෝරන වයසේ පටන් ජනාධිපතිවරයා  රූපවාහිනියේ දකින හැම මොහොතකම සිනාසෙමින් සහ නොයෙකුත් දේ කියමින් එම වැඩසටහන් නරඹන බවයි  ඇගේ දෙමව්පියන් පවසන්නේ.

ජනාධිපතිවරයා  මැදිරිගිරිය, කවුඩුල්ල ප්‍රදේශයට පැමිණෙන බව දැන ගැනීමත් සමග ජනාධිපතිවරයා බැලීමට යමු යැයි සිය පියාට ඇවිටිලි කර තිබෙනවා.

ඒ අනුවයි පසුගිය සැප්තැම්බරයේ දැරිය පියා සමග ජනාධිපතිවරයා සහභාගී වූ ජන හමුවට ගොස් ඇත්තේ.
එසේ වුවත් මුලින් වේදිකාව අසළට යාමට ඔවුන්ට හැකියාවක් ලැබුනේ නැහැ.

එකවරම  සෙනග අතරින් ජනාධිපතිවරයා වෙත දිව ආ දැරිය ආරක්ෂක නිලධාරින් විසින් නතර කිරීමට තැත් කළ ද, ජනාධිපතිවරයා එය වළක්වා සුරතල් දියණියට තමා වෙත ඒමට ඉඩ සැළස්වා දුන්නා.

මහත් සෙනෙහසින් යුතුව ජනාධිපතිවරයා තුරුළට වී සුරතල් බස් දෙඩූ දැරිය එම උත්සවය අවසන්වන තුරුම ජනාධිපතිවරයා අසළට වී සිටිනු දක්නට ලැබුණා.

 

එම මතකයත් සමග ඊයේ  එම දැරියගේ නිවසට ගොඩවැදුණු ජනාධිපතිවරයා  ඇයගේ සුවදුක් විමසූ අතර, එම නිවසේ තිබූ ජනාධිපතිවරයා  සහ මෙම පුංචි දියණියගේ හමුවීම පිළිබද පළකෙරුණු පුවත් පත් වාර්තා කිහිපයක් මෙන්ම තම ඡායාරූප කිහිපයක් ද එහිදී ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කළෙත්  දිනුල්‍යා චනාදිමයි.