චීන නැවක් කොළඹට එයි

 11/10/2017 - 18:33
44 reads

චීන නාවික හමුදාවට අයත් කී ජි ගුආන්ග් පුහුණු නෞකාව අද (නොවැම්බර් 10) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වූවා

එහිදී නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නෞකාව පිළිගත්තා.

එම අවස්ථාව සඳහා චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටි අතර, ශ්‍රී ලංකාවේ වෙසෙන චීන ජාතිකයන් විශාල පිරිසක් ද නාවික පිරිස හරසරින් පිළිගැනීම සඳහා වරාය පරිශ්‍රයට පැමිණ සිටියා.

දින 5 ක නිල සංචාරයක් සඳහා පැමිණි  නෞකාවේ කාර්යය මණ්ඩලය වෘත්තීමය නිපුණත්වයන් හුවමාරු කර ගැනීම හා මිත්‍රත්වය ශක්තිමත් කර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන සුහද ක්‍රීඩා තරඟ ඇතුළු වැඩසටහන් කිහිපයක් සඳහා ද සහභාගී වීමට නියමිතයි.

සංචාරයෙන් අනතුරුව “කී ජී ගුආන්ග්” නෞකාව එළඹෙන 14 වන දින කොළඹ වරායෙන් පිටත්වනු ඇති.

දිගින් මීටර් 163.5කින් සහ පළලින් මීටර් 22.2කින් යුත් නෞකාව ටොන් 10907ක ධාරිතාවයකින් යුක්තයි.
එහි නාවික පුද්ගලයින් 549 දෙනෙකුගෙන් සමන්විත කාර්යය මණ්ඩලයක් රාජකාරී කරනු ලබයි.