එළවළු ගොවියාට අත්වූ ඉරණම

 03/04/2018 - 06:03
128 reads

 දේශීය ගොවියා පිළිබඳ රට උණුසුම්ව පවතින මොහොතක ගොවියාගේ නිෂ්පාදන වලට සහතික මිලක් නොමැති වීම නිසා ගොවීහු දැඩි අසීරුතාවයකට පත්ව සිටිති.

විශේෂයෙන් පහතරට එළවළු ගොවීන් මෙන්ම යාපනය අර්ධද්වීපයේ ගොවීන් ද මෙම තත්ත්වයට මුහුණ පා සිටිති.

මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාපනයේ  එළවලු  අති විශාල වශයෙන් ලැබෙමින් පවතී.

එමෙන්ම පහතරට එළවළු ගොවීන් තම නිෂ්පාදන වැඩි වශයෙන් ගෙනෙන  බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පවසති.

පහතරට කලාපයේ ඇතැම් එළවළු  අස්වනු නෙලීම අතහැර දමා තිබෙන අතර ඇතැම් එළවළු කොටුවල අස්වැන්න නෙලීම සිදු නොකරන නිසා විනාශ වෙමින් පවතින බව ගොවීහු පෙන්වා දෙති.

යාපනය අර්ධද්විපයෙන් මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වැඩි වශයෙන් අර්තාපල්, රතු ළුණු, මාලු මිරිස්,  බිට්,  වම්බටු, මෑකරල් ආදී එළවළු වර්ග රැසක් ලැබෙමින් පවතී.

මේ අතර යාපනයෙන්  දඹුල්ලට අර්තාපල්  අලෙවි කිරීම සඳහා අරගෙන එන ගොවීන් කියා සිටින්නේ තම නිෂ්පාදන වලට කිලෝ එකක් සඳහා රුපියල් 50ක් 55ක් අතර මිලක් ලැබෙන බවය.

 එහෙත් අර්තාපල් අල එම මිල ගණන් යටතේ අලෙවි කිරීම අසීරුතාවයක් බවත් තමන්ට විශාල පාඩුවක් සිදුවන බව ඔවුහු පෙන්වා දෙති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයන් කියා සිටියේ රජය පහුගිය දිනවල විදේශීය රටවලින් ගෙන්වන අර්තාපල් අල සඳහා  රුපියල් 29ක බදු මුදලක් පනවන විටත්, ව්‍යාපාරිකයන් විසින් අර්තාපල් අල විශාල ප්‍රමාණයෙන්  රැස්කොට අවසන් බව ය.

තවත් මාස තුනකට පමණ අර්තාපල් ගබඩාවල පවතින බවද ඔවුහු පෙන්වා දෙති.

ඒ නිසා යාපනය අර්ධද්වීපයේ අර්තාපල් අල ගොවීන්ට සාධාරණ මිලක් නොලැබෙන බව පැවසෙයි.

එමෙන්ම යාපනයෙන් මෙන්ම පහත රට ප්‍රදේශ වලින් ලැබෙන අනෙකුත් එළවළු වර්ග සඳහා කිලෝවක මිල පවතින්නේ රුපියල් විස්සේ සිට රුපියල් 50 වූ උපරිම මිලක් බව ගොවීහු පෙන්වා දෙති.

මේ හේතුව නිසා එළවළු නිෂ්පාදනයෙන් විශාල වශයෙන් නිෂ්පාදන වියදම් අවම කරගැනීමට නොහැකි බව ගොවීහු වැඩිදුරටත් සඳහන් කර සිටිති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පොල් ගෙඩියක තොග මිල රුපියල් 80ක් වීමද විශේෂත්වයකි.

පොල් අලෙවි කරන්නන් කියා සිටින්නේ රජය පැනවූ පාලන මිලට පොල් ලබාදීමට නොහැකි බවත් රජයෙන් අඩු මුදලට පොල් ලබා දෙන්නේ නම් පාලන මිලට ලබා දිය හැකි බව ය.

දිවයිනේ එළවළු අවශ්‍යතාවයෙන් සියයට හැත්තෑවක් පමණ සපුරන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය මේ දිනවල  එළවළු වලින් පිරී ඉතිරී යන ආකාරය දැක ගැනීමට හැකියාව තිබේ.

බොහෝ එළවළු වර්ග අලෙවි නොවීම නිසා ඇතැම් අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බවද ගොවීහු පෙන්වා දෙති.

(දඹුල්ල - කාංචන කුමාර ආරියදාස)

news24.lk
News24
sri lanka news 24
24 news
Gambulla
Jaffna
vegetable
economic centre