පළමු කාසියේ වාසිය බංග්ලාදේශයට – ශ්‍රී ලංකාව පන්දු රකියි

13

ආසියානු කුසලාන එක් දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බංග්ලාදේශය සමත්වුනා.
ඒ අනුව ශ්‍රී ලංකාවට පළමුව පන්දු රැකීමට සිදුව තිබෙනවා.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය මෙරට වේලාවෙන් පස්වරු 5ට ඩුබායිහී දී ආරම්භ වනවා.

මෙවර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන තරගාවලිය සදහා එක්වන කණ්ඩායම් සංඛ්‍යාව 6ක්.

කාණ්ඩ දෙකක් යටතේ තරග පැවැත්වෙන අතර, A කාණ්ඩයට ඉන්දියාව, පාකිස්තානය සහ හොංකොං කණ්ඩායම් ඇතුළත්.

ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ඇෆ්ඝනිස්ථානය B කාණ්ඩයෙන් තරග වදිනු ඇති.

තරගාවලියේ මූලික වටයේ දී ඒ සහ බී කාණ්ඩවලින් පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක සුපිරි 4 වටය සදහා සුදුසුකම් ලබනවා.

මෙවර තරගාවලිය සදහා දිනේෂ් චන්දිමාල් සහ ධනුෂ්ක ගුණතිලක ආබාධ තත්ත්වයන් හේතුවෙන් ක්‍රීඩා නොකරන අතර පෞද්ගලික හේතුවක් මත පළමු තරග දෙක සදහා අකිල ධනංජය ද ක්‍රීඩා නොකරනු ඇති.

කෙසේ වෙතත් වසරක පමණ කාලයකට පසු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග අද යළිත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

මෙතෙක් පැවැති ආසියානු කුසලාන තරගාවලියන් හී දී වැඩිම වාර ගණනක් ශූරතාවය දිනා ගෙන ඇත්තේ ඉන්දීය කණ්ඩායමයි.

ඔවුන් 6 වරක් ශූරතාවය දිනා ගෙන ඇති අතර ශ්‍රී ලංකාව ජය ගෙන ඇති ශූරතා ගණන 5ක්.

පාකිස්තානය ද අවස්ථා දෙකකදී ආසියානු කුසලානය ජය ගෙන තිබෙනවා.

Your Comments