නව නිපැයුම්කරුවන් ඇගයෙයි

98

රට පුරා විසිරී සිටින නව නිපැයුම්කරුවන් සම්මානයෙන් ඇගයෙන නව නිපැයුම්කරුවන්ගේ ජාතික දින සැමරුම -2018 හා ජනාධිපති සම්මාන ප‍්‍රදානය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පසුගිය 26 දා  පැවැත්වුණා.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්, නිපැයුම්කරුවන් 1500කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වූ ජාතික දින සැමරුම සංවිධාන කරන ලද්දේ ශ‍්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම විසින්.

මෙහිදී 2016 වසරේ නව නිපැයුම්කරුවා ලෙස ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබුවේ කොට්ටගොඩගේ ලක්ෂ්මන් මහතායි.

පාසල්ල විවෘත හා වාණිජකරණ ඛාණ්ඩ යටතේ ජයග‍්‍රාහී නව නිපුයැම්කරුවන් අතුරින් හොඳම නව නිපැයුම් 3ක් සඳහා ශ‍්‍රී ලංකාව තුළ නව නිපැයුම්කරුවකුට හිමිවන ඉහළම සම්මානය වන දසිස් සම්මානය පිරිනැමුනා.

එමෙන්ම පාසල්, විශ්වවිද්‍යාල, විවෘත, වාණිජකරණ ඛාණ්ඩ යටතේ නව නිපැයුම්කරුවන් 300කට අධික පිරිසකට රන්, රිදී, ලෝකඩ පදක්කම් හා සහතික පත‍්‍ර ප‍්‍රදානය කෙරුණා.

නව නිපැයුම්කරුවන්ට මඟ පෙන්වූ ගුරුවරුන් ද විශේෂ ඇගැයීමට ලක්කිරීම විශේෂත්වයක්.

තෝරාගන්නා ලද නව නිපැයුම් 3කට  වාණිජකරණය සඳහා මූල්‍ය ප‍්‍රතිපාදන ප‍්‍රදානය කෙරුණා.

මෙරට ඉංජිනේරු ක්ෂේත‍්‍රයේ පියා ලෙස සැළකෙන කීර්තිමත් සිවිල් ඉංජිනේරුවරයකු මෙන්ම ශ‍්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ පළමු කොමසාරිස්වරයා වූ දේශබන්දු, ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහ මහතාගේ ජන්ම දිනය යෙදෙන  ඔක්තෝබර් 26 වැනි දා නව නිපැයුම්කරුවන්ගේ ජාතික දිනය 2016 වසරේදී  ප‍්‍රකාශයට පත්කරන ලද්දේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින්.

කුලසිංහ මහතාගේ ජ්‍යෙෂ්ඨ පුත් උපුල් කුලසිංහ මහතා සමඟ ජනාධිපතිවරයා, නව නිපැයුම්කරුවන්ගේ කොමිසම් කොමසාරිස්වරයා, විෂය භාර අමාත්‍ය, නියෝජ්‍ය අමාත්‍ය හා රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිස මෙහිදී එම ජන්ම දිනයද  සමරනු ලැබුවා.

නව නිපැයුම්කරුවන්ගේ ජාතික දින සමරුවේදී ජනාධිපති සම්මානයට පාත‍්‍රවූ  නව නිපැයුම්කරුවන් තෝරාපත්කර ගත්තේ ජනාධිපතිවරයා විසින් පත්කරන ලද ක්ෂේත‍්‍ර 14ක් ආවරණය වන පරිදි එ් එ් විෂයයන්හි විශේෂඥ ජූරි මණ්ඩලයක් විසින්.

උත්කර්ෂවත් ලෙස පැවැති නව නිපැයුම්කරුවන්ගේ ජාතික දින සමරුවට විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන සහ වෘත්තිය පුහුණු සහ මහනුවර උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය  සරත් අමුණුගම, එම අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න, එම අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන සහ ශ‍්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් ආචාර්ය මහේෂ් එදිරිසිංහ යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වී සිටියා.

Your Comments