වන අලීන්ගෙන් වැනසෙන මිනිස් ජීවිත
(සටහන සහ සේයාරූ පුත්තලම ප්‍රියංකර කළුපහන)

8

සාලියවැව අලුත්ගම සහ අවට ප්‍රදේශයන්ට වන අලි ගැටලුව උග්‍රවි ඇතැයි කීවොත් නිවැරදියි.
මේ ප්‍රදේශයේ මීට වසර අටකට පමණ පෙර ඉදිකල විදුලි වැට අක්‍රීය වීමත් සමගම වන අලි ගම් වැදීම ක්‍රමක් ක්‍රමයෙන් ඉහළ ගොස් දේපළ නිවාස වගාබිම් වලට වන අලින්ගෙන් දැඩි හානි නිරන්තරයෙන්ම සිදුවීම නිසාවෙන් ඉතාමත් උග්‍ර ගැටලුවක් බවට වන අලි ගම් වැදීම පත්වී තිබේ.

විදුලි වැට නඩත්තු කිරීමේ වග කීම පැවරී ඇති සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවද වන අලි පෙරලන ලද අලි වැට යළි පිළිසකර කිරීම දිනෙන් දින සිදු කළ ද වනජීවී දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයකින් තොරව එය සිදුවෙන බවයි ගම්මුන් පෙන්වා දෙන්නේ.

දිනපතා වන අලි මෙලෙස ගම් වැදීම හේතුවෙන් අලි මිනිස් ගැටුමක් මෙහි නිර්මාණය වී තිබීම හේතුවෙන් මිනිසුන්ගේ ජීවිතවලට ද තර්ජනයක් ඇති බව ප්‍රදේශවාසීන් චෝදනා කරයි.

වන අලි ගැටලුවට තිරසාර විසඳුමක් ලෙස විදුලි වැට ඉදිකර තිබුනදල එම වැටෙහි අසාර්ථකත්වය වන අලි ගම් වැදීමට මුලික හේතුව වී ඇති බව සැකයකින් තොරව ජනතාව පෙන්වා දෙති.

වැටෙහි විදුලිය නොමැතිකම නිසාවෙන් ඉවක් බවක් නොතකා ගම්වදින වන අලින් එය පෙරළා පහසුවෙන් ගම්මාන වලට කඩා වැදීමත් සමඟ තම භව භෝග විනාශ කරන බවට ඔවුන් මැසිවිලි නගති.

පැවති වසර දෙකක පසු ගිය නියන් සමයේදී ජලය පොම්ප කරමින් ආරක්ෂා කරගත් පොල් කෙසෙල් අඹ කොස් ගස් සියල්ල වන අලින් විනාශ කරමින් සීමා මායිම් නොතකා සෑම තැනකම සැරිසරමින් මිනිස් ජීවිතවලට තර්ජනයක් වී ඇති ගැටළුවට විසඳුමක් දීම සඳහා කඩිනමින් වන අලි, තබ්බෝව අභය භූමියට පලවා හැර සහනයක් සලසා දෙන්නට මැදිහත් වන ලෙස ජනතාව රජයෙන් ඉල්ලා සිටීයි.

අලි ගැටලු පිළිබඳ අදහස් දැක්වූ චමින්ද ජානක පෙරේරා දැක්වූයේ මෙවන් අදහසකි.

” … අපේ වත්තේ කජුල අඹලපොල්ල කොස් බෝග වගාවන් කරලා තිබුණා.
ඒ සේරම අලි කාලා විනාශ කලාග අපේ අවට ගම්මාන වල පොල් ගස් දෙසිය පනහක් තුන්සීයක් විතර සතියට පෙරලලා විනාශ කරලා තියෙනවා.
අලි ටික පන්නල දැම්මේ නැත්නම් මම හිතන විදිහට අපට විතරක් නෙවෙයි.
මේ අවට ගම්මානවල කාටවත්ම ආයේ ගොවිතැනක් බතක් කරන්න හම්බ වෙන එකක් නෑ.
ඒ තරමටම මේ අලි ප්‍රශ්නය උග්‍ර වෙලා අපි කොච්චර එලවුවත් අලි ගමට ඒම නතර කරන්න බැහැ.

අපේ අලි වැටේ විදුලිය නැහැ.
පසුගිය දවස් වල වනජීවී කාර්‍යාලයට ගියා මේ ගැන කියන්න.
එතකොට එයාලට තිබෙන ප්‍රශ්ණ අහලා අපට එපා වුණා.
මේ අලි පන්නන්න හමුදාව මැදිහත් කර ගත්තා නම් හොඳයි …”

එස් එම් අරුණ මහතා, වන අලින්ගෙන් සිදුවන විනාශ පිළිබඳ මේ ආකාරයෙන් අදහස් දැක්වීය.

” … අලි වැට ගහලා තිබෙනවා කිසිම වැඩක් නැහැ.
රෑ වෙනකොට එන අලි එලිවෙන කොට ලොකු විනාශයක් කරනවා.
සාලියවැව අලුත්ගම පැත්තේ හැමෝම මේ වන අලි ගැටලුවෙන් ප්‍රීඩා විඳිනවා. ..”

ආර්.ඒ. ජයන්ත මහතා පවතින අලි ගැටලුව පිළිබඳ අදහස් දැක්වීය.

” ….මේ වත්තේ පොල් පැල හැටක් කාලා තියනවා.
ඉතින් ඒවා පිදෙන්න තියෙන පොල් පැල.
ඒ වගේම තමයි එහා පැත්තෙ කුඹුරු වලටත් අලි පනිනවා.
දැන් මේ සැරේ ගොවිතැන් කලයි කියලා අපිට ඒ ගැනත් විශ්වාසයක් තියා ගන්න බැහැ.
වනජීවී එකේ අය එනවා අලි එලවනවා යනවා.
ගැටලුව හැමදාම තිබෙනවා.
මේ අලින් ගෙන් පුදුම කරදරයක් තියෙන්නේ අලි එනන්නෙත් මිනිස්සු හොයාගෙන.
අලි වැටක් කඩාගෙන ගමට එනවා..”

චාමර මධුශංක වන අලි ගැටලුව පිළිබඳ මෙලෙස පැවසීය.

” …. මම මේ වනකොට ඩිප්ලෝමා පාඨමාලාව හදාරලා ඒක සම්පූර්ණ කරලා තියෙනවා.
නමුත් මේ වන තෙක් මට කිසිම රැකියාවක් ලැබිල නෑ මම බොහෝ රැකියා වලට ඉල්ලුම් කරලා තිබෙනවා.
නමුත් අපේ රටේ තියෙන ප්‍රශ්න වාතාවරනය අනුව රැකියාවක් ගන්න අමාරුයි ඒ නිසා තමයි මම තීරණය කළේ රටට බරක් නොවී රජයට බරක් නොවී මගේ ස්ව උත්සාහයෙන් ම මේ වගේ ගොවිතැන් ව්‍යාපාරයක් කරලා රටටත් සේවයක් කරන ගමන් මගේ ආර්ථික කටයුතු සංවර්ධනය කරගන්න
නමුත් අද වන විට අප ප්‍රදේශයටම මට විතරක් නෙවෙයි
මේ මුළු ප්‍රදේශයටම වල් අලි තර්ජනය ඉතාමත් උග්‍ර වශයෙන් පවතිනවා
මොකද මම මේ වන විටත් මේ වත්තට ලක්ෂ පහළොවක් විස්සක් වියදම් කරලා තියෙනවා.

නමුත් මේ වන විට මේ සියලුම දේ වතුරේ යන තත්ත්වයට තමයි පත් වෙලා තියෙන්නේ
අනාගතය ගැන හිතා ගන්න අමාරුයි
මොකද රජය වුනත් මේ වන තෙක් අපට කිසිම පිළිසරණක් වෙලා නෑ.

විශ්ව විද්‍යාලයේ ගිහිල්ලා ඉගෙන ගත්තු ළමයි බොහෝ දෙනෙක් මේ ගම්වල ඉන්නවා
නමුත් ඒ කට්ටියටත් කිසිම රැකියාවක් ලැබිල නැහැ.
වන අලි නිසා අපේ රටේ ජනතාවට සිදු වෙලා තියෙන ප්‍රශ්න නිරාකරණය කිරීමට කටයුතු කරයි කියලා බලාපොරොත්තු වෙනවා ..”

සීතා පත්මිණි මහත්මිය නිරන්තරයෙන් අලින්ගෙන් ප්‍රිඩා විඳින කාන්තාවකි ඇය මෙසේ කීවේය.

 

” … අපි ගොඩක් දුක් මහන්සි වෙලා ජීවත් වෙන්නේ
ඉතින් අපි ඉඩමක් වවන්න ගොඩක් වියදම් කරලා තියෙනවා
රුපියල් ලක්ෂ පහළොවක් විස්සක් විතර
මේවා අපි දුක් මහන්සියෙන් හම්බ කරපු මුදල් මිසක් රජයෙන් කිසිම ආදරයක් ලැබිලා නෑ
ඉතින් අපේ මේ වත්තේ පොල් ගස් සියයයක් විතර අලි කාලා විනාශ කරලා තිබෙනවා
කියන්න බැරි තරම් වත්තට හානි කරලා තිබෙනවා
මේ අව නඩුව උඩ ඉන්න දෙවියොවත් බලන් නැත්තේ ඇයි කියලා එක වෙලාවකට හිතෙනවා ..”

මේ පිළිබඳ විමසීමේදී කරුවලගස්වැව වනජීවි කාර්‍යාලයේ නිලධාරින් පැවසුවේ වෙලාවක් කලාවක් නොමැතිව නිතර අලි එලවීමේ කටයුතු කරන බවත් කොපමන අලි ගම්වලින් පන්නා දැමූවත් රාත්‍රි කාලයේදි යලි ගමට එන බවයි.
වනජීවී නිළධාරීන් විදිහට කල හැකි උපරිම සේවයක් ජනතාවට ලබා දෙන බවද වනජීවි කාර්‍යාලයේ උසස් නිළධාරියෙකු පැවසීය.

Your Comments