දීපාවලි – යහපත උදෙසා
(ඡායාරූප - මාධව කුලසූරිය වව්නියාව)

3

දීපාවලි නැතහොත් දීවාලි උත්සවය හින්දු භක්තිකයන්ගේ ප්‍රධාන උත්සවය ලෙස හැඳින්වෙයි.
දීපාවලි උත්සව සැමරුම වසර 35000කට පෙර සිට පැවත එන්නක් බවයි හින්දු භක්තිකයන් විශ්වාස කරන්නේ.
දීපාවලි උත්සව පැවැත්වීමට පාදක වූ පුරාවෘත කිහිපයක්ම හින්දු ජනයා අතර ප්‍රචලිතයි.

විෂ්ණු දෙවිදුන් නරගාසුරන් නමැති අසුරයා පරාජය කිරීම සිහිපත් කිරීම එක අවස්ථාවක්.
තමන් ආලෝකය ලබා ගත් අයුරින් ලොව සියළු දෙනාටද ආලෝකය දැකීමට ඉඩ සලසන්නැයි පරාජයට පත් නරගාසුරන් අසුරයා විෂ්ණු දෙවියන්ගෙන් කළ ඉල්ලීම සිහිපත් කරමින් හින්දු බැතුමතුන් පහන් දල්වා ආගමික වතාවත්වල නිරත වන්නේ, ඒ ආලෝකය පරිද්දෙන් සියල්ලන්ගේ සිත් සතන් තුළ ආලෝකය පැතිරේවා යන ඒකායන ප්‍රාර්ථනයෙන්.

දිපාවලිය සැබවින්ම ආලෝක පුජාවකි.


නිවෙස් තුළ මෙන්ම නගර මුළුල්ලේ ම දහස් ගණන් පහන් දල්වා ආලෝකවත් කිරීම උත්සවයේ ප්‍රධානතම අංගයක්.
දීපාවලි උත්සවය  ජාතික උත්සවයක් ලෙසත්, එය ලොව අඳුර නසා ආලෝකය උදා කරවන්නක් ලෙසත්, අඥානය නැති කොට ඥානය පහළ කරන උත්සවයක් ලෙසත් සැලකෙයි.

හින්දු බැතිමතුන් මේ විශේෂ දිනයේ රාමා දෙවියන්ටත් සීතා දේවියටත් තම ජිවිත දුෂ්කරතා වලට නිසි ලෙස මුහුණ දී ඔවුන් ආශීර්වාද කර නිවැරදි මග පෙන්වන ලෙස යාතිකා කරයි.


දීපවාලි උත්සවයෙන් ලැබෙන පණිවුඩ පහක්

1. ලොව අඳුර නසා ආලෝකවත් කිරීම

නිවෙස් වලත් ගම් නගරවලත් දහස් ගණන් පහන් දල්වන්නේ මිනිස් ජිවිතවලද ආත්මික ආලෝකයක් ඇති කිරීමේ සංඛේතයක්.

2 අයහපත පලවා හැර යහපත ලං කරගැනීම

උත්සවයේ විශේෂ අංගයක් වන්නේ ගේදොර මනාව පිරිසිදු  කරගැනීමයි.
අනවශ්‍ය දේ ඉවත් කොට නිවෙස් මනාව පිරිසිදු කිරීම තුළින් නිවැසියන්ට පවිත්‍රතාව ලඟා වන බව විශ්වාසයයි.

3 ඉවසීම ප්‍රගුණ කිරීම

රාමා දෙවියන්ගේ ජිවිත දැක්ම තුලින් පිළිබිඹු වන ඉවසීමේ ගුණය මෙනෙහි කොට ප්‍රගුණ කරන්නට අවස්තාවකි.

4 බෙදාහදා ගැනීම

දිවාලි සඳහා විශේෂයෙන් පිළියෙළ කළ රස කැවිලි නෑදෑ හිත මිතුරන්, අසල්වාසීන් සමඟ බෙදාගැනීම තුලිනුත් මෙදින දුප්පතුන් සමඟ තමන් සතු දේ බෙදා හදා ගැනීමටත් අමතක නොකරයි.

5 ජිවිතයට නව ආරම්භයක්

දීපවාලි උත්සවය සැමරීම සඳහා බැතිමතුන් අලුත් බඩු භාණ්ඩ වලින් නිවෙස් අලංකාර කිරීමටත් නව වස්ත්‍රාභරණ වලින් සැරසිමටත් ප්‍රිය කරනවා. බොහෝ ව්‍යාපාරිකයින් නව ගිණුමක් ආරම්භ කිරීමද බොහෝ විට මේ දිනයේ සිදු කරනවා. ජිවිතයේ නවතාවයක්, ජීවිතය අලුතින් අරඹන්නට මෙය විශේෂ දිනයක්.


දශක කිහිපයක් තිස්සේ විරසකයන් විසින් හුදෙකලා කරනු ලැබ අනේක විධ දුක් සහ වේදනාවන් දරා සිටින සමාජයක ජන වර්ග අතර පවත්නා විරසකය දුරලා අවබෝධයත්, සහජීවනයත් ඇති කිරීමට දීපවාලි උළෙල පිටිවහලක් වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

දීපවාලී උළෙල වෙනුවෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව පෙන්වා දෙයි.

ආධ්‍යාත්මික ශික්ෂණය, ප්‍රඥාව බඳු ගුණාංග මිනිස් සිත් සතන් තුළ ඇතිවීමට නම් අවිද්‍යාවේ අන්ධකාරය පහවිය යුතුය. එකී අරමුණ සාක්ෂාත් කරගනු වස් ලෝකවාසී හින්දු බැතිමතුන් පහන් දල්වා සමරන දීපවාලී උළෙල වෙනුවෙන් සුබපැතුම් එක් කිරීමට ලත් අවස්ථාව පිළිබඳ බෙහෙවින් සතුටු වෙමි.

පහනින් නැඟෙන ආලෝකයෙන් අයහපත නමැති අඳුර දුරුවී යහපත නමැති ආලෝකය පැතිරෙන්නාසේ ස්වකීය ජීවිතද අලෝකවත් වේවා යන්න දීපවාලියේ අරුතයි. ඒ සමඟම එකිනෙකා වෙත හෘදයාංගම සුබපැතුම් පිරිනමමින් සෙනෙහස බෙදාහදා ගන්නා සංස්කෘතික උළෙල ලෙසද දීපවාලිය ජනතාව සහෝදරත්වයේ හුයෙන් එකිනෙකා බැඳ තබයි.

නපුර දුරලන දීපවාලිී උත්සවය සතුටින් මෙන්ම අර්ථාන්විතව සමරමින් ආදරය හා යහපත් ගුණාංගයන් වගා කර ගැනීමට උත්සුක වන මෙරට මෙන්ම ලොව පුරා වෙසෙන සියලු හින්දු බැතිමතුන්ටත් මාගේ සුබපැතුම් පිරිනමමි.
 

අඳුර පරාජය කරමින් ආලෝකයත් අසත්‍ය පරාජය කරමින් සත්‍යයත්, නොදැනුවත්කම පරාජය කරමින් දැනුවත්කම ජයග්‍රහණය කිරීමත් දීපවාලි උත්සවයෙන් සංකේතවත් වන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
 

දීපවාලි උත්සවය තුළින් පිළිබිඹු වන්නේ, හින්දු භක්තිකයන්ගේ ආධ්‍යත්මික ගුණ වගාවත්, සමාජයේ ජන කණ්ඩායම් හා පුද්ගලයන් අතර අවබෝධය හා සංහිඳියාවයි. හින්දු සම්ප්‍රදායට අනුව, දීපවාලි උත්සවයෙන් සැමරෙන්නේ, ක්‍රිෂ්ණා දෙවියන් නරකාසුර නමැති අසුරයා පරාජය කොට ලෝකයට ආලෝකයක්, ආශීර්වාදයත් ගෙන ඒමයි.

ශ්‍රී ලංකාවේ හින්දු භක්තිකයන් ආගමික වතාවත්වල යෙදෙමින් දීපවාලි උත්සවය සමරනු ලබයි. මේ ප්‍රීතිමත් අවස්ථාවේදී ශ්‍රී ලංකාවාසී සියලුම හින්දු භක්තිකයන් වෙත මාගේ උණුසුම් සුභාශිංසන පිරිනැමීමට කැමැත්තෙමි.

 

භේද භින්නවීම පහසු දෙයක් වුවද, සමඟි සන්ධානයෙන් එක්සත්ව, එක්සිත්ව යහපත උදෙසා කටයතු කිරීම මහත් අභියෝගයක් බවත් සියලු භේද දුරලා මනුෂ්‍යත්වයට මුල්තැන දෙමින් සාමයෙන් සමඟියෙන් ජීවත්වන්නට ප්‍රඥාවේ පහන් දල්වාගත යුත්තේ එබැවින් බවත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දීපවාලි දින පණිවුඩයෙන් පෙන්වා දෙයි.
 

ලොව පුරා හින්දු කෝවිල්වලද, මහා මන්දිර පැල්පත වෙනසක් නැතිව හින්දු බැතිමතුන්ගේ නිවෙස්වලද, ගෙවතු මංමාවත් ඔස්සේද සුවහසක් පහන් පේළි දැල්වෙමින් රැය ඒකාලෝක වෙයි. හින්දු බැතිමතුන් මහත් පී්‍රතියෙන් සමරන, වසරකට වරක් එළැඹෙන ඒ උත්කර්ෂවත් සැමරුම දීපවාලි උත්සවයයි.

හින්දුන්ට වින කළ නරක අසුරයා පැරදවීම, රාම කුමරු වන වාසයෙන් මිදී සීතා සමඟ නැවත අයෝධ්‍යාවට පැමිණීම ආදී පුරාවෘත්ත සහ ආගමික පිළිවෙත් සමඟ බැඳී ඇති දීපවාලි උත්සවය තමන් තුළත්, සමාජය තුළත් පවතින අයහපත නමැති අන්ධකාරය පරදවා මිනිසා යහමඟට යොමුවීමේ වැදගත්කමද, සදාචාරසම්පන්න, යුක්තිගරුක, සාධාරණ සමාජයක් ගොඩනැංවීමේ අවශ්‍යතාවද නැවත නැවත අපට සිහිගන්වයි.

ලෝකය භෞතික වශයෙන් ඉතා විශිෂ්ට දියුණුවක් අත්පත් කර ගනිමින් සිටියද, දයාව, කරුණාව, ඉවසීම, සමාව දීම, පරිත්‍යාගශීලීත්වය වැනි ගුණදහම් අතින් පරිහානියට පත්වෙමින්, මිනිස් සංහතියේ විනාශයට පාර කපා ගනිමින් සිටින බව අපි දනිමු. ජාතිය, ආගම, පක්ෂ, පාට ආදී සාධක මුල්කරගනිමින් මානව වර්ගයා භේද භින්න කරවන නපුරේ බලවේග මුළුමහත් සමාජය අන්ධකාරයට හෙළමින් පවතී.

ඒ සඳහා දීපවාලි උත්සවය ආදර්ශයේ මාවතක්, අධිෂ්ඨානයේ අත්වැලක් කරගත හැකි බව සිහිපත් කරමින්, දීපවාලි සමරන සැමට මාගේ හෘදයාංගම සුභාශිංසන පිරිනමමි….!


නපුරු බලවේග පරාජයට පත්ව සත්‍ය හා සාධාරණය ඉටුවේවායි දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා දීපවාලි පණිවුඩය නිකුත් කරමින් සඳහන් කරයි.

ශ්‍රී ලංකාවාසී සැමටම දීපවාලි සුබ පැතුම් ගෙන ඒම සතුටකි. අප ජනතාවගේ අපේක්ෂාවන් හා අභිලාෂයන් අර්බුදයට පත්ව ඇති වකවානුවේදී නපුරු බලවේග පරාජයට පත්ව සත්‍ය හා සාධාරණය ඉටුවේවායි ප්‍රාර්ථනා කරමි. තවද අපගේ ජනතාවට තිරසර සාමයත් සැබෑ නිදහසත් උදාකර ගැනීමට ලැබේවායි යන්න මාගේ ප්‍රාර්ථනයයි.

අප ජනතාව දෛනික ජීවිතයේදී මුහුණ දෙන ආපදාවන් තුරන් වී ශක්තිමත් ජීවිතයක් ගත කිරීමට දෙවියන්ගේ ආශීිර්වාදය ලැබේවායි ලක්වාසී සැමට ප්‍රීතිමත් දීපවාලි දිනයක් වේවායිද පතමි.

 

Your Comments