තෙල් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

125

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් අද [10] මැදියම් රැයේ සිට ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා.
ඉන්ධන මිල සූත්‍රයට අනුව ලෝක වෙළෙඳ පොළේ මිල ගණන් අනුව මාස දෙකකට වරක් මෙරට ඉන්ධන මිල සංශෝධනය කළ යුතු බවයි මුදල් අමාත්‍යංශය පවසන්නේ.

ඒ අනුව පසුගිය පස් වනදා [05] ඉන්ධන මිල ඉහළ දැමුණා. කෙසේ වෙතත් රජය ඊට පසු දින [06] ප්‍රකාශ කළේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු ඉන්ධන පිරවුම් හල්වලින් පෙර පැවැති මිල ගණන් යටතේම ඉන්ධන ලබාගත හැකි බවයි. ඒ අනුව එදින වැඩි කරන ලද ඉන්ධන මිල සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වල අය කිරීම අත්හිටවනු ලැබුවා.

මේ අනුව එම ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් කැබිනට් අද (10) රැස්වූ කැබිනට් මණ්ඩලයේදී තීරණයකට එළැඹීමට නොහැකි වූ අතර ඉන් අනතුරුව ඉන්ධන මිල සූත්‍රය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

එම සාකච්ඡාව සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.
අදාළ සාකච්ඡාවේදී තීරණය කෙරුණේ මුදල් අමාත්‍යංශය පසුගිය පස්වනදා සංශෝධනය කළ මිල ගනන් අනුව ඉන්ධන මිල ඉහළ දැමීමටයි. ඒ අනුව අද [10] මැදියම් රැයේ සිට අදාළ සංශෝධනය ක්‍රියාත්මක කෙරෙනවා.

ඒ අනුව සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් මගින් අද [10] මැදියම් රැයේ සිට සිට නව මිල ගණනන් යටතේ ඉන්ධන අලෙවි කෙරෙනු ඇති.
මේ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 145ක් දක්වා රුපියල් 8කින්ද ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 155ක් දක්වා රුපියල් 7කින්ද ඉහළ දමා තිබෙනවා.

ඩීසල් ලීටරයක් රුපියල් 118 දක්වා ඉහළ දැමෙන අතර සුපර් ඩීසල් ලීටරයක මිල ඉහළ දැමෙන්නේ රුපියල් 129 දක්වායි.

 

Your Comments