සිංගප්පූරු වෙළඳ ගිවිසුම සහ ආර්ථිකයේ හෙට දවස
- ජාතික විද්වත් සංවිධානයේ සම්මන්ත‍්‍රණය -

11

‘සිංගප්පූරු වෙළඳ ගිවිසුම සහ ආර්ථිකයේ හෙට දවස’ මැයෙන් ජාතික විද්වත් සංවිධානය සම්මන්ත‍්‍රණයක් පැවැත්වූවා. ඒ පිළිබඳ මාධ්‍යවෙත නිකුත් කළ විස්තරය පහතින් දැක්වෙයි.

 

රනිල් මෛත‍්‍රී ආණ්ඩුව ජනතාවට කොලේ වහලා ගහනවා.. සිංගප්පූරු ගිවිසුමෙන් මුළු ආර්ථිකයම සෝදාපාළු වෙනවා…
– පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුනිල් හඳුන්නෙත්ති.

සිංගප්පූරු ගිවිසුම කියන්නේ රටේ මූලික නීතියටත් ව්‍යවස්ථාවටත් පටහැණිව අත්සන් කරපු එකක්. රටක වෙළඳ ගිවිසුම් අත්සන් කිරීමේදී මුදල් රෙගුලාසිවලට යටත් විය යුතු වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත්විය යුතු වෙනවා. නමුත් සියල්ලට පටහැණිව සම්මත කරපු වෙළඳ ගිවිසුමක් තමයි සිංගප්පූරු ගිවිසුම කියන්නේ. මෙම ගිවිසුම අත්සන් කළේ මාසයක් ඇතුළත. කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා, නිතිපතිට යවලා නැවත කැබින්ට් මණ්ඩලයේ අනුමැතියකින් තොරවයි අත්සන් කළේ. ඇතැම් ඇමතිවරුන් ඉල්ලීමක් කරල තිබුණා මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා. නමුත් ඒ කිසිවක් නොකර තමයි අත්සන් කර ගත්තේ.

මේ ගිවිසුම අත්සන් කිරීමේ අරමුණ මොකක්ද, රනිල්-මෛත්‍රී හවුල් ආණ්ඩුවට මෙවැනි ගිවිසුමක අවශ්‍යතාවය මොකක්ද? ආණ්ඩුව නව වෙළඳ ප්‍රතිපත්තිය කියල එකක් හඳුන්වල දුන්නා. ඒක ගැනත් කිසිදු සාකච්ඡාවක් නැහැ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නැහැ. අපි පාර්ලිමේන්තුවට යන කොට මේසෙ උඩ නව වෙළඳ ප්‍රතිපත්තිය කියල එකක් හදල තිබුණා. ඒ ගැන මාධ්‍ය සාකච්ඡාවක් වුණාද. ජාතික වාණිජ මණ්ඩලයවත් ව්‍යාපාරිකයින්, කර්මාන්ත කරුවන්වත් මේ ගැන කථා කළාද, ඒ කිසිවක් නැතිව තමයි රටේ වෙළඳ ප්‍රතිපත්තිය හදලා තියෙන්නේ. එහි මූලික හරය වෙන්නේ අපේ රටේ වෙළඳාම නිදහස් වෙළඳ ගිවිසුම් මගින් ලිහිල්කරණය කිරීමයි. ඒ අනුව තමන් සිංගප්පූරු වෙළඳ ගිවිසුම අත්සන් කරන්නේ. මේ ගිවිසුම මගින් මුළු ශ්‍රී ලංකාවම වෙළඳපොළක් බවට පත්කරනවා. කලාපයේ සියලුම දෙනාට ඇවිත් ලගින්න පුළුවන් වෙළඳපොළක් බවට පත්වෙනවා.

මෙම ගිවිසුමට සිංගප්පූරු නමක් ගාවගෙන තිබුණට මේක හරියට ලෝක වෙළඳ සංවිධානයත් සමග අත්සන් කරපු ගිවිසුමක්. මොකද ලෝක වෙළඳ සංවිධානයේ වුවමනාවන්ට හා එහි කොන්දේසිවලට අනුව තමයි මේ ගිවිසුම අත්සන් කරල තියෙන්නේ. මේකට ඉන්දියාව වගේ රටක් ගාවගත්තා නම් වෙනත් දේශපාලන බලපෑම් තිබිය හැකියි කියලා විශාල ජනතා විරෝධයක් එන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා තමයි සිංගප්පූරුව වැනි නිදහස් ආර්ථිකයත් තිබෙන වෙළඳපොළක් වැනි රටක් මේ ගිවිසුමට ඈඳාගෙන තිබෙන්නේ. ඒ වගේම මංගල සමරවීර පහුගිය අය-වැය ඉදිරිපත් කරන වෙලාවෙ කිව්වා ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය වූ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හරියට ක්‍රියාත්මක කරගන්න බැරි වුණා කියලා. එම විවෘත ආර්ථිකය උපරිම ආකාරයෙන් ක්‍රියාත්මක කර ගන්න තමයි මෙම ගිවිසුම ගෙනාවේ. එය ලෝක වෙළඳ සංවිධානයේ බලපෑම මත කරපු එකක්. ලෝක වෙළඳ සංවිධානයට බොහෝ රටවල්වල විශාල ජනතා විරෝධයක් එල්ල වෙලා තිබෙනවා. අඩුම තරමේ ඔවුන්ට රැස්වෙන්න ස්ථානයක් නැහැ. ඒ නිසා තමයි විවිධ රටවල් පාවිච්චි කරලා ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුම අත්සන් කරන්නේ.

මෙම ගිවිසුමේ පූර්විකාවේ සඳහන් වෙනවා මෙම ගිවිසුම අදාළ වන පාර්ශ්වයන් සම්බන්ධයෙන්. එනම් ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුවට අමතරව තවත් පාර්ශ්වයන් සඳහා මෙම ගිවිසුම අදාළ වන බව එයින් පැහැදිලි වෙනවා.

මංගල සමරවීර ඇමතිවරයා කියපු ආකාරයට අපේ රටේ විවෘත ආර්ථික ප්‍රතිපත්ති ඔවුන්ට ඕන ආකාරයට ක්‍රියාත්මක කර ගන්න බැරිවුණේ ඇයි. එදා ඉඳලම අපේ රටේ ජනතාව වෘත්තීය සමිති, ජවිපෙ වැනි දේශපාලන පක්ෂ එවැනි හානිකර ප්‍රතිපත්තිවලට, ගිවිසුම්වලට එරෙහිව කටයුතු කළා. ඒ නිසා ඔවුන්ට ඒවා ක්‍රියාත්මක කරගන්න බැරි වුණා. ඒ නිසා තමයි මෙම සිංගප්පූරු වෙළඳ ගිවිසුම අත්සන් කරන්න කලින් පාර්ලිමේන්තුවට ගෙනාවේ නැත්තේ. මේක සම්පූර්ණයෙන්ම වහල ගහපු ගිවිසුමක්. පාර්ලිමේන්තුවේ විවාදයක් කළා, ගිවිසුම නැතිව. හරියට මනමාලි නැති මඟුල් ගෙයක් වගේ.

සාමාන්‍යයෙන් නිවසක බල්ලෙක් ඇති කළොත් උගෙ අසූචි දාන්නේ නිවසෙන් පිටතට. සමහරවිට තමන්ගේ ගෙවත්තේ සීමාවෙනුත් එළියට තමයි ඒවා බැහැර කරන්නේ. නමුත් මෙම සිංගප්පූරු ගිවිසුම මගින් ලෝකය පුරා තිබෙන අසූචි අපේ රට ඇතුළට ගෙනත් දාගන්න කැමැත්ත පළ කර තියෙනවා. අපේ රටේ වාණිජ මණ්ඩලයට, ව්‍යාපාරිකයින්ට, කර්මාන්තකරුවන්ට මේකෙන් බලපෑමක් නැද්ද? අපි හිතන්නේ ඔවුන්ගේ කටවල් වහලයි තිබෙන්නේ. මෙම ගිවිසුමෙන් දේශපාලන පක්ෂයක් ලෙස අපිට ලොකු බලපෑමක් ඇති වෙන්නේ නැහැ. මොකද මේ ගිවිසුම අනුව පිටරටකින් දේශපාලන පක්ෂයක් ඇවිත් අපේ රටේ ඡන්දය ඉල්ලන්නේ නැහැ. නමුත් මෙයින් රටේ ආර්ථිකයටත් ජනතාවටත් විශාල බලපෑමක් එල්ල වෙනවා. ඒනිසයි අපි ඊට එරෙහිව පෙනී ඉන්නේ. අපේ රටේ සපත්තු කර්මාන්තය, සෙරමික් කර්මාන්තය, තීන්ත කර්මාන්තය වැනි කර්මාන්තවලට සියයට සියයක් අපේ අවශ්‍යතා සපුරන්න පුළුවන්. එමගින් විශාල රැකියා ප්‍රමාණයක් බිහිවෙනවා. නමුත් මෙම ගිවිසුම මගින් මෙම සියලුම කර්මාන්ත අහෝසි කර දමනවා. මොකද මේ ගිවිසුම මගින් භාණ්ඩ වර්ග 7000කට පමණ බදු බිංදුව වෙනවා. එවිට එම සියලුම භාණ්ඩ ආනයනය කිරීමේ හැකියාව ලැබෙනවා. එමගින් අපේ කර්මාන්ත සොදා පාළුවට ලක්වෙනවා. ඒ විතරක් නොවෙයි අපේ රටට ආනයන භාණ්ඩවලින් ලැබෙන සියලුම රේගු ගාස්තු, බදු ආදායම් අහිමි වෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ සමාජයක් ලෙස මෙයට විරුද්ධ විය යුතුයි කියලා.

පහුගිය කාලේ උපාධිධාරීන් 57000ක් රැකියා ඉල්ලුම්පත් දාල තිබුණා. ඒකෙන් රැකියා ලැබුණේ 4100කට පමණයි. වාර්ෂිකය උසස් පෙළ සමත් විශාල පිරිසක් රැකියා අහිමි ගොඩට වැටෙනවා. අපේ රටේ 49,3,000ක් පමණ වසරකට රැකියා අහිමි වූවන්ගේ ගොඩට එකතු වෙනවා. එසේ තිබියදී සේවා ක්ෂේත්‍රව විවෘත කළාම මොකද වෙන්නේ. චීන රෙස්ටෝරන්ට් වලට සියලුම සේවකයින් චීනෙන්ම එනවා. සංචාරකයින් සමග විදේශීය මඟ පෙන්වන්නන්ටද අපේ රටට එන්න අවස්ථාව ලැබෙනවා. ඒවගේම නීති උපදේශක සමාගම්වලට අපේ රටේ දොර විවෘත වෙනවා. මේ ආකාරයෙන් සියලුම සේවාවන්වලට විදේශීය කම්කරුවන්ට, වෘත්තිකයන්ට එන්න අවස්ථාව ලැබෙනවා. එනිසා මෙම සිංගප්පූරු ගිවිසුම මුළු රටටම මුළු ආර්ථිකයටම රටේ අනාගතයටම බලපාන ගිවිසුමක්. අපි මේව කියන කොට ආණ්ඩුව කියන්නේ බිල්ලෝ මවනවා කියලයි. මේ ගිවිසුම අත්සන් කළාට රටේ අනිකුත් නීති රිතිවලින් මේ ගිවිසුම ආවරණය වෙනවා කියලා රනිල්-මෛත්‍රී-මලික් ආණ්ඩුව කියනවා. සිංගප්පූරු ගිවිසුම වැනි ගිවිසුමක් අත්සන් කරපු ආණ්ඩුවට අනික් නීති රීති වෙනස් කරන එක කජ්ජක්ද කියල අපි අහනවා.

එදා ජේ.ආර්. ජයවර්ධන ලංකාව සිංගප්පූරුවක් කරනවා කියල විවෘත ආර්ථිකය ගෙනාවා. අද වර්තමාන ආණ්ඩුව ලංකාව සිංගප්පූරුවේ වෙළඳපොළක් බවට පත්කර තිබෙනවා. චන්ද්‍රිකා විවෘත ආර්ථිකයට මානෂික මුහුණුවරක් කියල ඇවිල්ලා රාජ්‍ය ආයතන ටික විකුණල දැම්මා. අද මේ ආණ්ඩුව ඉතුරු ටිකත් විකුණල දානවා. මුළු ආර්ථිකයම එකවර සෝදා පාළුවට ලක්කරන්න තමයි මේ ගිවිසුම අත්සන් කරල තිබෙන්නේ. මේ වන විටත් ලංකාවට සංචාරක වීසාවලින් පැමිණි විදේශිකයින් විවිධ තැන්වල කම්කරුවන් ලෙස වැඩකරනවා. අපි කෝප් කමිටුවේදී සාකච්ඡා කළා සංචාරක වීසාවලින් පැමිණි විදේශිකයින්ට ලංකාව තුළ වැටුප් ගෙවීම නොකළ යුතුයි කියලා. නමුත් රනිල් වික්‍රමසිංහලාගේ කුස්සි කැබිනට් එක සංචාරක වීසාවලින් එන විදේශිකයන්ට ඩොලර්වලින්ම වැටුප් ගෙවන්න තීරණයක් අරගෙන තිබෙනවා. මෙම කරුණු සම්බන්ධයෙන් ජාතික වාණිජ මණ්ඩලය, ව්‍යාපාරිකයන් වගේම මාධ්‍යයත් නිහඬයි. මෙවැනි වැදගත් සාකච්ඡාවක් තිබියදී මාධ්‍ය එක එක්කෙනාගේ කුණු ගොඩවල් අවුස්සන එකයි කරන්නේ. ඒක ඉතාම කනගාටුදායක තත්වයක්. ශ්‍රී ලංකාවේ වැදගත් පිහිටිම නිසයි ලෝක වෙළඳ සංවිධානයටත් අපේ රට ගැන විශේෂ අවධානයක් තිබෙන්නේ. අපේ රටේ සම්පත් සදාහරිත වනාන්තර, ජාන මේ වටිනා සියල්ලම ආර්ථික ගිවිසුම් හරහා කළමනාකරණය කරන්නයි ඔවුන් උත්සාහ දරමින් තිබෙන්නේ. එනිසා මෙම ක්‍රියාමාර්ගවලට එරෙහිව ශ්‍රී ලාංකිකයින් ලෙස අපි නැගී සිටිය යුතුයි. නව අධිරාජ්‍ය විරෝධී අරගලයක් ලෙස මේ සටන දියත් කළ යුතුව තිබෙනවා. නමුත් අපේ රටේ උගතුන්ගේ බුද්ධිමතුන්ගේ මැදිහත්වීම පිළිබඳව සැහීමකට පත්වෙන්න බැහැ. ඒ සියලු දෙනාටම අපි මේ සටන වෙනුවෙන් ආරාධනා කරනවා.

එක ගිවිසුමක් පරාජය කරනවිට තව ගිවිසුම් පෝලිමේ එනවා..
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය අනිල් ජයන්ත

අපේ රටට ආර්ථික ගිවිසුම් අවශ්‍යද නැද්ද යන්න කියලා වෙනම සංවාදයක් තියෙනවා. වැදගත් වන්නේ ආර්ථික ගිවිසුම් රටේ අවශ්‍යතාවය සම්පූර්ණ කරනවාද නැද්ද යන්නයි. බොහෝ රටවල් තමන්ගේ ආර්ථික අවශ්‍යතාවයන් ඉස්මතු කරගන්න පෙළෙඹෙනවා. ඒ වගේම ධනය බලය වෙනුවෙන් ගිවිසුම් අත්සන් කරනවා. මෙම ගිවිසුම බහුපාර්ශ්වීය හෝ ද්විපාර්ශ්වීය ලෙස අත්සන් කරනවා. බහුපාර්ශ්වීය ගිවිසුම් මගින් තනි පාර්ශ්වයකට ආදිපත්‍ය පතුරුවන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි බලවත් රටවල් ද්විපාර්ශ්වීය ආර්ථික ගිවිසුම් අත්සන් කරන්න පෙළඹෙන්නේ.

සිංගප්පූරු – ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම් ද්වීපාර්ශ්වීය ගිවිසුමක්. එම වෙළඳ ගිවිසුමට අනුව කේවල් කිරීමේ හැකියාව සමාන බව හඟවනවා. නමුත් ශ්‍රී ලංකාව වැනි රටක් මෙවැනි ගිවිසුම්වලට යාමේදී ගැටලුවක් තිබෙනවා. මොකද අපේ රටේ දළ ජාතික ආදායමත් අඩුයි. ඒක පුද්ගල ආදායම ඩොලර් 4000ක් වගේ ගණනක් තමයි තිබෙන්නේ. නමුත් සිංගප්පූරුවේ ඒකපුද්ගල ආදායම ඩොල්ර් 55,000ක් පමණ වෙනවා. මෙවැනි පරතරයක් තිබියදී ද්වීපාර්ශ්වීය ගිවිසුමකදී අපි වැනි රටකට අවාසි සහගතභාවය වැඩියි. මෙම ගිවිසුමට ඇතුළත්වීමේදි අපේ අවශ්‍යතා මොනවද කියලා සැලකිල්ලට ගත්තද කියන කාරණය ගැටලුවක්. ඒ වගේම මේ ගිවිසුම අත්සන් කරන්න මැදිහත් වුණේ කවුද යන්නත් ගැටලුවක්. එයට මැදිහත්වූ පිරිස ආර්ථික දැනුමක් තිබෙන ගිවිසුම් පිළිබඳව අවබෝධයක් තිබෙන අයද යන්න ගැටලුවක්.

මෙම වෙළඳ ගිවිසුමේ පිටු 1083ක් තිබෙන බව කියනවා. මෙහි පදනම වෙලා තිබෙන්නේ ජාත්‍යන්තර වෙළඳ සංවිධානයේ සම්මුති දෙකක්. එම සම්මුතිවල පැහැදිලි ලෙස සඳහන් වෙන්නේ වෙළඳපොළ විවෘතකරණයයි. ඒ අනුව මෙම සිංගප්පූරු වෙළඳ ගිවිසුමට ඇතුළත් වෙනවා කියන්නේ ගිවිසුමට ඇතුළත් ක්ෂේත්‍රයන් ඉතාම පුළුල් විය යුතු බවයි. මෙම ගිවිසුමේ දීර්ඝ භාණ්ඩ ලැයිස්තුවක් තිබෙනවා. එම ලැයිස්තුව 7000කට අධික ප්‍රමාණයක් වෙනවා. මේ තරම් පුළුල් භාණ්ඩ ලැයිස්තුවක් ගිවිසුමට ඇතුළත් වීමේදී අපිට එම භාණ්ඩ ආනයනය අපනයනය පිළිබඳව ඇගයීමක් තිබෙනවාද?

මෙම ද්විපාර්ශ්වීය ගිවිසුම අත්සන් කිරීමේදී එක් රටක් සංවර්ධිත රටක් හා අනෙක් රට සංවර්ධනය වෙමින් පවතින රටක් නම් නම්‍යශීලී බවක් නැහැ. අපි අපේ රට තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක්. සිංගප්පූරු වෙළඳ ගිවිසුම අත්සන් කිරීමේදී එක හා සමාන පාර්ශ්වකරුවන් ලෙස සලකලා තමයි ගිවිසුම අත්සන් කර තිබෙන්නේ. සිංගප්පූරුව කියන්නේ සම්පූර්ණම විවෘත වෙළඳපොළක්. සිංගප්පූරුවේ ලියාපදිංචි වන ඕනෑම පුද්ගලයෙකු මේ ගිවිසුම අනුව වෙළඳාමට මැදිහත් මිය හැකියි. ඒ අනුව මේ සියලු දෙනාටම අපේ රටේ වෙළඳාමට ඇතුළු වීමට හැකියාව තිබෙනවා. මෙම ගිවිසුම මගින් භාණ්ඩ විශාල ප්‍රමාණයක තීරුබදු නිදහස් කරනවා. මෙම ගිවිසුමට අනුව ශ්‍රී ලංකාවට රටක් ලෙස අප ආනයනය හෝ අපනයනය කරන භාණ්ඩ පිළිබඳව සීමා කිරීම් හෝ වාරණය කිරීම පිළිබඳව කිසිදු තීරණයක් ගැනීමට හැකියාවක් නැහැ.

සිංගප්පූරුව රටවල් 19ක් සමග ද්විපාර්ශ්වීය ගිවිසුම් අත්සන් කොට තිබෙනවා. බහු පාර්ශ්වීය ගිවිසුම් 9ක් පිළිබඳව වාර්තා වෙනවා. ශ්‍රී ලංකාවත් මෙවැනිම ගිවිසුම් කීපයකට අත්සන් කොට තිබෙනවා. නමුත් එම ගිවිසුම්වල ප්‍රතිඵල පිළිබඳව කිසිදු විශ්ලේෂණයක් කර නැහැ. ඉනදු-ලංකා ගිවිසුම් පාකිස්ථානය සමග අත්සන් කරන ලද ගිවිසුම් අනුව ආනයනය අපනයනය ප්‍රමාණයන් වැඩිවෙලා නැති බව දක්නට ලැබෙනවා. එම ගිවිසුම්වලින් අපිට වාසියක් අත්වෙලා නැහැ. සිංගප්පූරු වෙළඳ ගිවිසුමේ වාසි වෙන කරුණු කිහිපයක් කෙනෙකුට පෙන්නන්ට පුළුවන් වුණත්, අපිට අවාසි වෙන කරුණු ගණනාවක් තිබෙනවා. අපද්‍රව්‍ය බැහැර කිරීමේ කාරණාව බරපතළ එකක්. සිංගප්පූරුව වැනි රටකට අප ද්‍රව්‍ය බැහැර කිරීම, ප්‍රතිචක්‍රීයකරණය, අපහසු කාරණයක්. ඔවුන් අපද්‍රව්‍ය කළමනාකරණයට පෙළඹෙන්නේ නැහැ. ඔවුන් මීට පෙර චීනය, පකිස්ථානය වැනි රටවල්වලට අපද්‍රව්‍ය බැහැර කළා. එම රටවල් එම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නතර කොට තිබෙනවා. ලංකාව වැනි රටක් පරිගණක කොටස්, රෝහල් අපද්‍රව්‍ය පරිසරයට මුදා හරිනවා. එහි ප්‍රතිවිපාක ගැන බරපතළ ලෙස සිතන්නේ නැහැ. එනිසා අපේ රටට සිංගප්පූරු වෙළඳ ගිවිසුම මඟින් ඉතා හානිකර අපද්‍රව්‍ය බැහැර කිරීමේ හැකියාව ලැබෙනවා.

මෙම සිංගප්පූරු වෙළඳ ගිවිසුම පිළිබඳව ඒ ඒ ක්ෂේත්‍රවලට බලපාන ආකරය පිළිබඳව පුළුල් ලෙස කතාකරන්න පුළුවන්. නමුත් වැදගත් කාරණය වන්නේ රටේ ජනතාව ලෙස අපි මේකට මොකද කරන්නේ කියන එකයි. මීට එරෙහිව කිසිවක් නොකර නිකං ඉන්න පුළුවන්. මොකද මෙම වෙළඳ ගිවිසුමෙන් සිදුවන බලපෑම් සම්බන්ධයෙන් බොහෝ වෙලාවට රටේ පුරවැසියන්ට තනි තනි ලෙස සිදුවන බලපෑම නොදැනෙන්න පුළුවන්. එසේ නොමැති නම්, ගිවිසුමේ නරක කතා නොකර, හොඳදේ විතරක් කතා කරන්න පුළුවන්. සුරංගනා කතා ටිකක් කියලා, ගිවිසුම වර්ණනා කරලා, ඩොලර් ටිකක් හොයා ගන්න පුළුවන්. නමුත් යම් යම් අවස්ථා අපිට වාසිදායක වුණත් වැඩිපුර තිබෙන්නේ, අපේ රටේ ආර්ථිකය විනාශ කරන වගන්තියි. කිතුල් නිෂ්පාදනය වැනි කුඩාම නිෂ්පාදනයන් දක්වා බිඳ වට්ටන වගන්ති මෙම ගිවිසුමේ ඇතුළත් වෙලා තිබෙනවා. එනිසා අපි කළ යුතුව තිබෙන්නේ ඒ ඒ ක්ෂේත්‍ර ගැන අවධානයට ලක්කොට ගිවිසුමේ ඇති කාරණා විවේචනයට ලක්කිරීමයි. නමුත් අපි විවේචනය කළ පමණින් මෙම ගිවිසුම අකුළා ගත හැකිද? ගිවිසුමේම සඳහන් වන ආකාරයට මෙම ගිවිසුම අකුළා ගන්නේ නම් අපි ගෙවිය යුතු මිල අධික එකක්. ඒ වගේම මෙම ගිවිසුම අනන්ත කාලයක් ක්‍රියාත්මක වීමට නියමිතයි. ගැටලුව තිබෙන්නේ මෙතරම් අවාසිදායක ගිවිසුමක් අනන්ත කාලයකට අත්සන් කළේ ඇයිද යන්නයි. එනිසා ආණ්ඩුවට බලපෑමක් කළ යුතුයි.

මෙම පවතින ආර්ථික ක්‍රමය යටතේ එක ගිවිසුමක් පරාජය කරන විට තවත් ගිවිසුම් ගණනාවක් පෝළිමේ එනවා. මේ වන විටත් අත්සන් නොකරන ලද ගිවිසුම් 25ක් පමණ ව්‍යාපෘති ලෙස මුදල් අමාත්‍යාංශයේ පෝළිමේ තිබෙනවා. එනිසා එක ගිවිසුමකට විරෝධය පළ කළ පමණින් මේ වැඬේ නවතින්නේ නැහැ. එනිසා මම යෝජනා කරන්නේ අමාරු වුණත්, කළ යුතු දෙයක්. අපි ආණ්ඩුවට විරෝධය පළ කිරීමෙන් එහාට යන්න ඕනෑ. රටේ මිනිසුන්ගේ ජීවිත අනතුරේ හෙළන ගිවසුම් අත්සන් කරන ආණ්ඩු වෙනුවට ජනතාව සම්බන්ධ වුණු ආණ්ඩුකරණයක් අපි විසින් හදා ගන්න ඕනෑ. එවැනි ආණ්ඩුවකට මෙවැනි ජනතා විරෝධී ගිවිසුම් අත්සන් කිරීමේ හැකියාවක් නැහැ. අමාරු වුණත් එවැනි දෘෂ්ටිකෝණයකට අපි ගමන් කළ යුතුව තිබෙනවා.

මේ තරම් රටට අහිතකර ගිවිසුමක් ගැන ජනාධිපතිවරයා දන්නේ නැද්ද?
වරලත් වාස්තු විද්‍යාඥ, නාලක ජයවීර

සිංගප්පූරු ගිවිසුම අත්සන් කිරීම සඳහා මැදිහත් වුණු අමාත්‍යාංශ ලේකම් චාන්දනී විජේවර්ධන, ප්‍රධාන සාකච්ඡාකරු කේ.ජේ. වීරසිංහ, රජයේ නීතිඥ නිර්මලන් විග්නේෂ්වරන් සහ මුදල් අමාත්‍ය උපදේශකයන් ඇතුළු නිලධාරීන්ට එරෙහිව ජනාධිපතිවරයාට ක්‍රියාමාර්ගයක් ගත හැකියි. මොකද මෙම නිලධාරීන් විධායකය නොමග යවනවා නම් ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව විධායකයට තිබිය යුතුයි. පලතුරු ගොවියන්, එළවළු ගොවියන් බේරාගන්නවා කියමින් ප්‍රකාශ නිකුත් කරන ජනාධිපතිතුමා පුන්නක්කු පවා වාණිජ ලිහිල්කරණයට ලක්කරන මෙම ගිවිසුම ගැන මොනවත් දන්නේ නැද්ද? භාණ්ඩ 7100ක් මෙම ගිවිසුම මගින් ආර්ථික ලිහිල්කරණයට ලක්වෙනවා. මෙම ගිවිසුම සම්බන්ධයෙන් කටයුතු කරන ඒකාබද්ධ කමිටුවක් තිබෙනවා. එම කමිටුවට කාටවත් බලපෑම් කරන්න බැහැ. එම නිසා මෙම කමිටුව පාවිච්චි කරලා මහ බැංකු මංකොල්ලය වැනි හොරකම් කරන්න පුළුවන්කම ලැබෙනවා.

මේ ආණ්ඩුව 2017 අගෝස්තු 01වැනි දා නව වෙළඳ ප්‍රතිපත්තයක් කියල එකක් රටට හඳුන්වල දුන්නා. ඒකෙ පූර්විකාවේ තිබෙනවා ලංකාවේ ඉන්න ව්‍යාපාරිකයෝ නින්දිතයි, පාරිභෝගිකයින් ගැන හිතන්නේ නැහැ. පාරිභෝගිකයින් සූරාකනවා. ඒ නිසා විදේශීය ව්‍යාපාරිකයන්ට අපේ රටේ තරග කරන්න අවස්ථාවක් උදාකළ යුතුයි කියලා. ඒ අනුව තමයි මේ ගිවිසුම එන්නේ. නමුත් අගමැතිතුමාගේ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා හෝ ජනාධිපතිතුමා යෝජනා කරන ගොවීන් ආරක්ෂා කරන ක්‍රියාවලියට සිංගප්පූරු-ශ්‍රී ලංකා ගිවිසුම සම්පූර්ණයෙන් පටහැණියි. ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් සිදුකරමින් ඉන්නේ ජනතාවගේ ඇස්වලට වැලිගහන එකයි. මේ වෙළඳ ගිවිසුම ඉතාම නින්දිත ලියවිල්ලක්. එනිසා මේ පිළිබඳව රටට හෙළිදරව් කළ යුතුයි. මම තොරතුරු දැනගැනීමේ පනත අනුව මෙම ගිවිසුමේ පිටපතක් ලබාගත්තා. මෙම ගිවිසුම සම්බන්ධයෙන් වගකිවය යුතු කිසිවෙක් විවාදයට එන්නේ නැහැ. මහබැංකුවේ අධිපතිවරයා ඇතුළු සියලුම දෙනා පාළුගෙයි වළං බිඳිනවා. මේ ගිවිසුම කැබිනට් මණ්ඩලයේවත් පාර්ලිමේන්තුවේවත් අනුමැතිය නැති ගිවිසුමක්.

මෙම ගිවිසුම අනුව පුහුණු-නුපුහුණු සියලුම ආකාරයේ ශ්‍රමිකයින් ගෙන්වීමට හැකියාව ලැබෙනවා. ඒ අනුව ආගමන විගමන රෙගුලාසි වෙනස් කරනවා. ඒ නිසාම දැන් සිංගප්පූරු ගිවිසුම අනුව ඕනෑම ශ්‍රමිකයෙකුට අපේ රටට ඇතුල් වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒවගේම ගිවිසුම අනුව භාණ්ඩ ගණනාවක බදු ඉවත් කරනවා. ගොඩනැගිලි කොන්ත්‍රාත් ක්ෂේත්‍රයන් මෙම වාණිජ ලිහිල්කරණයට ඇතුළත් වෙනවා. අපේ රටේ තනි තට්ටුවේ ගෙවල් පවා ඉදිකරන්න විදේශීය කොන්ත්‍රාත් සමාගම්වලට අවස්ථාව හදල දෙනවා. අපේ රටේ නීතිය ගැන අවබෝධයක් නැති නිලධාරීන් පිරිසක් තමයි මේ රට විනාශ කරන්නේ. මලික් සමරවික්‍රම ඇමතිවරයා මේ ගිවිසුමේ කොළ දෙකක්වත් කියවලා තියෙනවාද කියලා විශ්වාස කරන්න බැහැ. එමනිසා මෙවැනි ගිවිසුම්වලට එරෙහිව සමාජයේ බලපෑම් කණ්ඩායමක් ගොඩනඟන්න ඕනෑ.

උදාහරණයක් විදිහට ගත්තොත් ඕස්ටේ්‍රලියාවේ මෙවැනි වෙළඳ ගිවිසුම් අත්සන් කිරීමට පෙර ජනතාවගේ අදහස් ලබාගන්නවා. ඒවගේම පාර්ලිමේන්තුවේ අඩුම තරමේ දින 20ක් ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡාවට බඳුන් විය යුතුයි. ඉන් අනතුරුව තමයි ගිවිසුම අත්සන් කළ යුතු වන්නේ. මේ ආකාරයට බොහෝ රටවල්වලට ගිවිසුම් අත්සන් කිරීම පිළිබඳව නීති සකස් කරලා තිබෙනවා. නමුත් අපේ රටේ නීති ගැන ඉතාම කනගාටුයි. එනිසා අපේ රටේ ජනතාව සියලුම දේවල් දේශපාලනඥයන්ට කරන්න ඉඩදීලා බලාගෙන ඉන්නවා. ඒ වෙනුවට ජනතාව මෙවැනි කරුණු සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතුයි.

 

Your Comments