සිංගප්පූරුවේ සිට බෙල්ජියමට පනින්නට හැදූ යාපනයේ සැකකරු කටුනායක ඇවිත් කොටු

12

මැලේසියානු ව්‍යාජ ගමන් බලපතකින් පැමිණි ශ්‍රී ලාංකිකයකු අද (05) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආගමන හා විගමන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සැකකරු EK349 ගුවන්යානයෙන් සිංගප්පූරුවේ සිට මැලේසියානු සංචාරකයකු ලෙස පැමිණ තිබෙනවා.

ආගමන විගමන කටයුතු සඳහා පැමිණි මොහොතේ මෙම පුද්ගලයාගේ ගමන්බලපත පිළිබඳ මතු වූ සැකයක් මත කරන ලද නිරීක්ෂණයන්ට අනුව මැලේසියානු ගමන් බලපත්‍රය ව්‍යාජ බවට තහවුරු කර ගැනුණා.

මගියා වැඩිදුර විමර්ශන සඳහා ප්‍රධාන ආගමන විගමන නිලධාරී වෙත යොමු කර කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූයේ සැකකරු ශ්‍රී ලාංකිකයකු බවයි.

මෙම පුද්ගලයාගේ හැඳුනුම්පත ඔස්සේ ආගමන විගමන පාලන තොරතුරු පද්ධතිය මගින් ශ්‍රී ලාංකික ගමන්බලපත හා පසුගිය ගමන් විස්තර පිළිබඳව තොරතුරු සොයාගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා පසුගිය අගොස්තු 02 වැනිදා ශ්‍රී ලංකා ගමන්බලපත භාවිතා EK348 ගුවන්යානයෙන් ශ්‍රී ලංකාවේ සිට සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබුණා.

තමන් සිංගප්පූරුවට ගිය පසු එහිදී ව්‍යාජ මැලේසියානු ගමන්බලපත සකස්කර ගත්තේ ශ්‍රී ලංකාවට පැමිණ එම ව්‍යාජ ගමන්බලපත උපයෝගී කරගෙන බෙල්ජියමට පිටත්වයාමට බවටයි සැකකරු පවසන්නේ.

ව්‍යාජ ගමන්බලපත සමඟ මගියා ආගමන විගමන නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ගුවන්තොටුපළ ඒකකය වෙත බාර දී තිබෙනවා.

Your Comments