කුරුණෑගල ඒජන්සියකින් කතුන් ගණිකා සේවයට යවන බවට චෝදනා

38

කුරුණෑගල ප්‍රදේශයේ රැකියා ඒජන්සියකින් ගණිකා සේවය සඳහා කාන්තාවන් විදේශයට යවන බවට  පුද්ගලයෙකු චෝදනා කරනවා.

මාස  අටකට පමණ පෙර කුවේට් රටට ගිය තම බිරිඳ එහි සිරකරගෙන සිටින බව ද ඔහු සඳහන් කළේ දියණියද සමගින් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ හලාවත කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වෙමින්.

මේ පිරිස මෙලෙස විරෝධය දැක්වීම සදහා හලාවතට පැමිණි තෙවන අවස්ථාව මෙයයි.

පසුගිය මැයි පළමු දින හා මේ ඔක්තෝබර් මාසයේ දිනක මෙම පිරිස මේ ස්ථානයේ විරෝධතා දක්වා තිබෙනවා.

32 හැවිරිදි සුනේත්‍රා කුමාරි අප්‍රේල් මස 23 වන දින කුරුණෑගල පෞද්ගලික විදේශ රැකියා ආයතනයකින් කුවේට්යට ගොස් තිබෙනවා.

මාස දෙකකට ආසන්න කාලයක් කුවේට් ඒජන්සියක ඇය සිර කරගෙන සිට ඇති අතර ඒ කාලය අතරතුර ඇය මුදලට විකිණීමට උත්සහා කර ඇති බවයි පැවසෙන්නේ.

ඇය ඊට අකමැති වීම හේතුවෙන් විවිධ තාඩන පීඩන වලට මුහුණ දීමට සිදුව ඇති බවයි ඇයගේ ස්වාමිපුරුෂයා පෙන්වා දෙන්නේ.

මැයි 12 විදේශ සේවා නියුක්ති කාර්යංශයේ හලාවත කාර්යාලයට පැමිණිලි කළ  අවස්ථාවේදී විදේශ සේවා නියුක්ති කාර්යංශයේ කොළඹ කාර්යාලයට ගොස් ඉක්මනින් අවශ්‍ය කටයුතු කරන ලෙස උපදෙස් ලැබී තිබෙනවා.

ඒ අනුව එදිනම කොළඹ ට ගියත් පසුව දැනුම් දීමක් කරන බව පැවසු බවයි ඔහු සඳහන් කරන්නේ.


මැයි මස 30 වනදා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ කොළඹ කාර්යාලයෙන් ඔහු කැඳවා ඇතත් එදින ඒජන්සිකරු  පැමිණ නැහැ.

ඒ හේතුවෙන් පැමිණිල්ල විභාග කර නැහැ.

ඒ අවස්ථාවේදී  පැමිණිලිකරු ඒජන්සිකරුට දුරකතනයෙන් කතා කළත් පරුෂ වචනයෙන් බැන දුරකථනය විසන්ධි කර තිබෙනවා.

මේ වනවිට  බිරිඳ  කුවේට් තනාපතිකාරයාලයේ  සිර කරගෙන සිටින බව  පැමිණිලිකරු වැඩිදුරටත් පවසයි.

තවත් කාන්තාවන් 30 දෙනෙකු එහි සිරකරගෙන ඇති බවත්  ඉන් හතරදෙනෙකු චෝදනා එල්ලවන කුරුණෑගල  ඒජන්සියෙන් යැවු කාන්තාවන් බවත් පැමිණිලිකරු සඳහන් කළේ එම තොරතුරු සොයාගත් බවටයි.

මේ පිළිබඳ  කුරුණෑගල විදේශ සේවා නියෝජිත ආයතනයෙන් කළ විමසීමේදී  එහි නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත්තේ ගණිකා සේවය සදහා කාන්තාවන් පිට රට නොයැවූ බවයි.

කාන්තාව නැවත ගෙන්වා දීමට රුපියල් තුන්ලක්ෂ හැත්තෑ දහසක මුදලක් අවශ්‍ය බව ද එම රැකියා නියෝජිත ආයතනය
පවසා තිබෙනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින්   මාධ්‍යට තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Your Comments