වැඩිම වර්ෂාව ලැබුණු ගාල්ලේ තත්වය – 8400ක් අවතැන්
(හිනිදුම - රවීන්ද්‍ර ලියනගේ)

38

පවතින ධාරානිපාත වර්ෂාව නිසා දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ වඳුරඹ ආරලිය ප්‍රදේශයේ එක් පුද්ගලයෙකු මිය ගොස් පවුල් 2292ක පුද්ගලයින් 8485 දෙනෙකු අවතැන් වී ඇති බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිනරණ මහතා පවසනවා.

අද (07)  සවස් වන විට ලැබී ඇති තොරතුරු අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 11කට අයත් ග්‍රාම සේවා වසම් 132ක ජනතාව අයපහත් කාලගුණ තත්වය නිසා පීඩාවට පත්ව සිටිනවා.

ගාල්ල වදුරඹ උණන්විටිය මාර්ගයේ ඌරල ආරලිය ප්‍රදේශයේ දී පහල ගමගේ දයාරත්න (61) නැමැති සිව් දරු පියෙකු ජලයට ගසාගෙන ගොස් මියගොස් සිටියා.

දිස්ත්‍රික්කය තුළ මේ වන විට පූර්ණ නිවාස හානි 06ක්, අර්ධ නිවාස හානි 244ක් සහ ව්‍යාපාරික ස්ථාන 52කට ද හානි සිදුව තිබෙනවා.

ආපදාවන්ට ලක්වූ  පිරිස් සදහා පිසූ ආහාර ලබා දෙමින් සහන කටයුතු ක්‍රියාත්මක බවද දිස්ත්‍රික් ලෙකම්වරයා සඳහන් කළා.

අද පෙරවරු 8.30 න් අවසන් වූ පැය 24 තුළ වාර්තා වූ වැඩිම වර්ෂාපතනය ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වුවා.

ගාල්ල පොද්දිවෙල – මිලිමීටර් 334.1,හිනිදුම – මිලිමීටර් 277.5, බද්දේගම – මිලිමීටර් 195.0 ලෙස සටන් වී තිබුණා.

දිස්ත්‍රික්කයේ මාර්ග කිහිපයක් ජලයෙන් යට වී තිබීම නිසා ගමනා ගමනයට බාධා පැමිණියා.

ගාල්ල බද්දේගම මාර්ගය, යක්කලමුල්ල ඉමදුව මාර්ගය, පිටිගල මාර්ග කිහිපයක්, හිනිදුම ප්‍රධාන මාර්ග කිහිපයක්, බද්දේගම මාර්ග කිහිපයක් සහ වඳුරඹ මාර්ග ජලයෙන් යටවූවා.

ගාල්ල වක්වැල්ල පාලම අසළ උණබට ඇතුළු කුණු හිරවීම නිසා ජලය බැස යාම සෙමින් සිදුවෙන් පවතිනවා.

ඉමදුව යක්කලමුල්ල මාර්ගය, කනංකේ වාඩියවත්ත අතුරු මාර්ගය, ගාල්ල උඩුගම දෙල්ලව මාර්ගයේ මහබෝධිවත්ත මංසන්ධිය, ගාල්ල මාපලගම මාර්ගය, ගාල්ල කඩවත් සතර කොට්ඨාශයේ දංගෙදරල මිලිද්දුවල ඇත්තිලිගොඩ, තනිපොල්ගහ ඇතුළු ප්‍රදේශද, ඉමදුවේ කෝදාගොඩ දකුණ, හොරදුගොඩ නැගෙනහිර, ඇල්ලගොඩ, කෝඹළ යන ප්‍රදේශද, නාගොඩ උඩලමත්තල යටලමත්ත සහ මාපලගම නගරය, බෝපෙ පෝද්දල ඕපාත, හෝළුවාගොඩ, නාවින්න යන ප්‍රදේශද, යක්කලමුල්ලේ වාඩියවත්ත, වල්පලලවෙලන්දාව, පොල්පාගොඩ, යක්කලමුල්ලල නාකියාදෙනිය, උඩුමලගල යන ප්‍රදේශද අක්මීමණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නුගදූව, අත්තරගොඩ, ඉහලගොඩ යන ප්‍රදේශද අද (07) දහවල් වන තුරුම  ජලයෙන් යටවි තිබූ බව අදාල කොට්ඨාශයන්හි ප්‍රාදේශීය ලේකම්වරු පැවසුවා.

Your Comments