සිර ගෙදරදී ඥානසාර හිමිට ලැබෙන ඇදුම ගැන අධිකරණ ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

24

බෞද්ධ භික්ෂුවකගේ චීවරය ඉවත් කිරීමේ බලයක් බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්වරයාට නොමැති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය අවධාරණය කර සිටිනවා.
පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සභාවේ අනුනායක මහාචාර්ය අති පුජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් විසින් තලතා අතුකෝරල මහත්මියට යොමුකරන ලද ලිපියකට පිළිතුරු යොමු කරමින් අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළා.
ඒ අනුව දැනට පවතින නීතිය අනුව බෞද්ධ භික්ෂුවක් එම තත්ත්වයෙන් පහත්කොට චීවරය ඉවත් කිරීමේ බලය ඇත්තේ එම ස්වාමීන් වහන්සේ පැවිද්ද සහ උපසම්පදාව ලද උන්වහන්සේ අයත් සංඝ සභාවට බවයි ඇය පෙන්වා දෙන්නේ.
බෞද්ධ කටයුතු ජෙනරාල්වරයාට එබඳු බලක් නොමැති අතර අදාළ නිකායේ මහනායක මාහිමිපාණන්ගේ නියෝගය මත පමණක් එසේ කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්වරයාට හැකියාව තිබෙන බව ද පිළිතුරු ලිපියේ සඳහන්.
කෙසේ වෙතත්, බන්ධනාගාර පනතේ 106 වගන්තියට අනුව අධිකරණය මඟින් සිර දඩුවම් නියමවන ඕනෑම අයෙකු බන්ධනාගාර පනතට අනුව සිරකරු නිල ඇඳුම ඇඳීය යුතු බව ද අමාත්‍යවරිය පෙන්වා දෙනවා.

Your Comments