සැමියාගේ පිහි පහරින් තිදරු මව මරුට
දිනේෂ් උපේන්ද්‍ර - කුලියාපිටිය

439

පිහි ඇනුමකට ලක්ව දරුණු කැපුම් තුවාල සහිතව එම ස්ථානයේදීම තිදරු මවක් නාරම්මල ගල්වංගුව දඹගිරිය ප්‍රදේශයේ නිවසක් තුළදී ඝාතනයට ලක්ව ඇති බව පොලිසිය පවසනවා.
නාරම්මල පොලිසිය පැවසුවේ මෙලෙස මියගොස් ඇත්තේ එච්.එම්. ඉෂාරා ගිම්හානි නමැති 24 හැවිරිදි තිදරු මවක් බවයි. මෙම ඝාතනය ඊයේ රාත්‍රීයේ සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ. එලෙස පිහිපහරට ලක්ව මියගොස් තිබූ කාන්තාවගේ බාල දරුවා තුන්මස් සිඟිත්තෙකි.
සැමියා සමග ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් අදාළ පිහිඇනුම සිදුව ඇති බවත් බිරිඳ ඝාතනය කළ ඝාතක සැමියා මේ වනවිටත් ප්‍රදේශය හැරගොස් ඇති බවත් පොලිසිය පවසනවා. සැකකරු සොයා මේ විටත් මෙහෙයුම් ක්‍රියාත්මක බවයි පොලිසිය පවසන්නේ.
අදාළ සිදුවීම වූ ස්ථානයේ සථානීය පරීක්‍ෂාව කුලියාපිටිය මහේස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා විසින් සිදුකළ අතර මෘතදේහය වැඩිදුර පශ්චාත් මරණ පරීෂණය සඳහා කුලියාපිටිය මූලික රෝහලට යොමුකරවන ලෙසට එහිදී නියම කෙරුණා.
කුරුණෑගල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත කුලියාපිටිය කොට්ඨාස බාර පොලිස් අධිකාරී ඔශාන් හේවාවිතාරන, සහකාර පොලිස් අධිකාරී නිමල් බණ්ඩාර යන මහත්වරුන්ගේ මගපෙන්වීම මත නාරම්මල පොලිසියේ අපරාධ අංශය මගින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.

Your Comments