මාකඳුරේ මධුෂ්ගේ දකුණේ ප්‍රධාන ගොලයෙකු STF වෙඩිපහරින් මරුට

12

මාකඳුරේ මධූෂ්ගේ ප්‍රධාන ගෝලයෙකු වන මානෙල් රෝහණ නොහොත් තිලක් නමැති පාතාල නායකයා මාතර – කඹුරුපිටිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය සමඟ සිදුවු වෙඩි හුවමාරුවකින් අනතුරුව මියගොස් තිබෙනවා.

කඹුරුපිටිය ප්‍රදේශයේ අවිගත් කණ්ඩායමක් මේ දින වල සැරිසරණ බවට පොලිස් විශේෂ කාර්ය බළකායට ලද තොරතුරක් අනුව සිදු කළ මෙහෙයුමකට සමගාමීවයි සැකකරු මියගොස් ඇත්තේ.

ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් කඹුරුපිටිය අකුරැස්ස මාර්ගයේ විල්පිට ප්‍රදේශයේ විශේෂ මාර්ග බාධකයක් යොදා රාජකාරියේ යෙදී සිට තිබෙනවා.

එම අවස්ථාවේදී රාත්‍රී 7.45 පමණ ත්‍රිරෝද රථයක් අකුරැස්ස සිට කඹුරුපිටිය දෙසට අණ නොතකා ධාවනය කර ඇති බවයි පොලීසිය කියා සිටියේ.

එහිදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අදාළ ත්‍රිරෝද රථය ලු‍හුබැඳගොස් ඇති අතර එය එක්වරම කැලෑබද ප්‍රදේශයකට අතුළු කර තිබෙනවා.

එහිදි ත්‍රිරෝද රථය නවතා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් දෙසට වෙඩි තබා ඇති බව පොලීසිය සඳහන් කළා.

එම අවස්ථාවේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් සිදු කළ ප්‍රතිප්‍රහාරයෙන් අනතුරුව එම ස්ථානයේ වැටී සිටි අදාළ සැකකරු රෝහල් ගත කර තිබෙනවා.

ඔහු සතුව තිබී T-56 වර්ගයේ ගිණි අවියක් ද සිය භාරයට ගත්බවයි පොලීසිය පැවසුවේ.

මෙලෙස මියගොස් ඇත්තේ කඹුරුපිටිය හොරපාවිට ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි මානෙල් රෝහණ නොහොත් තිලක් නමැති පාතාල නායකයා බවටයි අනාවරණ වී ඇත්තේ.

Your Comments