මන්ත්‍රී වැටුප වැඩි කරන ලෙස ඉල්ලූ පක්ෂය ගැන හෙළිදරව්වක්

19

පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් කිසිදු ආණ්ඩු පක්ෂ සාමාජිකයෙකු කතානායකවරයාගෙන් ඉල්ලීම් නොකළ බවත් එයට ඒකාබද්ධය විසින් සිදු කළ බවටත් එක්සත් ජාතික පක්ෂය පවසනවා.
නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා මේ බව කියා සිටියේ කුරුණෑගල ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

අපිට ආරංචියි පසුගිය දිනක ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයා ඉල්ලීමක් කර තිබෙනවා අර පෙර සම්ප්‍රදාය අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගේ වැටුප් තලවලට පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ වැටුප්තල සමාන කරන්න කියලා. මේ ඉල්ලීම කරලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයවත් ආණ්ඩුවත් නෙවෙයි… ඒකාබද්ධ විපක්ෂයෙන්. එහෙම ඉල්ලීමක් කරපු පරිදි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ සඳහා පාර්ලිමේන්තුවේ කතානායකතුමා ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ ක්‍රියාත්මක වෙන්න ආණ්ඩු පක්ෂයේ සහයෝගය ඕන. ඉතින් ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු මන්ත්‍රීවරු විදිහට අපි එහෙම කිසිම ඉල්ලීමක් කරලා නෑ. දැන් මාධ්‍ය මගින් මෙය ප්‍රචාරය වෙන්නේ අපි අපේ වැටුප් වැඩිකරගෙන කියලා. එහෙම කිසිවක් වෙලා නෑ. මොකද රටේ වැරදි මතයක් ගිහින් තියෙනවා ආණ්ඩු පක්ෂ මැති ඇමැතිවරු මේ වැඩි කරලා තියෙන්නේ කියලා. මැති ඇමතිවරුන්ටත් ජනතාවට තියෙන අමාරුකම් තිබුණත් අපි වැටුප් වැඩි කරන්න කියලා ඉල්ලා නෑ.

කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් දක්වන්නේ මෙවන් අදහසක්.

ඒකාබද්ධ විපක්ෂයේ ස්ථාවරය ඉතාම පැහැදිළියි. මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කිරීමට පළමුව කළ යුතු කාරණ 4ක් තියෙනවා. අඩු ආදායම් ලබන පිරිස, සමෘද්ධි ආධාර ලබන පිරිස, පෞද්ගලික අංශයේ සේවකයන් සහ රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිවීමකින් තොරව මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කරන්නේ නම් එය බරපතල අසාධාරණයක්. ඒකාබද්ධ විපක්ෂය ආදායමක් රහිතව පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ටත් යම් ආර්ථික ප්‍රශ්න තියෙන බව සමාජය තේරුම් ගත යුතුයි. ඊට වඩා බරපතල ප්‍රශ්න තියෙනවා සමාජයේ පහළ තීරුවේ ජනතාවට. මේ තීරණය මාධ්‍ය මගින් ප්‍රකාශ වීමෙන් පසුව මුළු රටම මෙය අංගවිකල දරුවෙක් බවට කියන්න ගත්තා. අනතුරුව මේ අංගවිකල දරුවාගේ පීතෘත්වයට විපක්ෂයට ඇඟිල්ල දික් කරන්න ගත්තා. අප එයට කලබල වෙන්නේ නැහැ. අපේ ස්ථාවරය ඉතාමත්ම පැහැදිළියි.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ද අදහස් පළ කරමින් කියා සිටියේ මන්ත්‍රී වැටුප් කිරීමක් සම්බන්ධයෙන් කිසිවෙක් සාකච්ඡාවකට ලක් කර නොමැති බවයි. බදු වැඩි කර බදු සම්බන්ධයෙන් රටේ ජනතාව කතා කිරීමත් සමග මිනිසුන් සිතනා දේ වෙනස් කිරීමට ආණ්ඩුවෙන්ම කියවුණා පඩි වැඩි කිරීමක් සම්බන්ධයෙන්. ආණ්ඩුවට සහය දෙන මන්ත්‍රීවරු සියලු දෙනාටම ලක්ෂ හතකට ආසන්න ආදායමක් ලැබෙන බවත් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට මන්ත්‍රී වැටුප් සහ කාර්යාල දීමනා පමණක් ලක්ෂ දෙක හමාරකට ආසන්න ප්‍රමාණයක් ලැබෙන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියා. ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු කිරීමෙන් පසුව මන්ත්‍රීවරුන්ගේ වැටුප් සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ.

Your Comments