මත්ද්‍රව්‍ය පාලනයට යුද හමුදාව යෙදවීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නෑ

19

මත්ද්‍රව්‍ය පාලනය කිරීම සඳහා යුධ හමුදාව යෙදවීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අවධාරණය කරනවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට අද එක්වෙමින්.
මත් ද්‍රව්‍ය පාලනය කිරීම සම්බන්ධයෙන් යුධ හමුදාවට බලතල පවරන බවට ඇතැම් සමාජ මාධ්‍ය කිහිපයක් විසින් වාර්තා කර තිබුණා.
ඒ පිළිබඳව සහ මත්ද්‍රව්‍ය පාලනය කිරීම සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියා මර්ග පිළිබඳව මාධ්‍යවේදීන් අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් විමසීමක් කළා.
මත්ද්‍රව්‍ය පාලනය කිරීම සඳහා යුධ හමුදාවට බලය පැවරීම සම්බන්ධයෙන් තීරණයක් ගෙන ඇත්ද යන්න සම්බන්ධයෙන් නිව්ස් 24 නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාගෙන් විමසීමක් කළා.
හෙතෙම කියා සිටියේ මෙරට පවතින නීති රාමුව තුළ එවැනි කටයුතු සඳහා යුධ හමුදාවට බලය පැවරිය නොහැකි බවයි.මත් ද්‍රව්‍ය පාලනය කිරීම සම්බන්ධයෙන් යුධ හමුදාවට බලය පැවරීම පිළිබඳ යම් කතිකාවක් ආරම්භ වී ඇති අතර ඒ සඳහා විශේෂ ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
මත්ද්‍රව්‍ය පාලනය කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් යම් තීරණයක් ගෙන ඇත්ද යන්න පිළිබඳව නිව්ස් 24 ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් ද විමසීමක් කළා.
ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ චමුදිත සමරවික්‍රම මහතා පැවසුවේ මෙතෙක් එවැනි තිරණයක් ගෙන නොමැති බවයි.
කෙසේ වෙතත් පසුගිය දා අනුරාධපුරයේදි මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමින් යුධ හමුදාපති ලුතිනල් ජනරාල් මහේෂ් සේනානායක මහතා පැවසුවේ මත් ද්‍රව්‍ය පාලනය කිරීම සඳහා බලය පවරන්නේ නම් එම කාර්යය වගකීම් සහගතව ඉටු කරන බවයි.

 

Your Comments