පාර්ලිමේන්තුව විසුරවා හැරීමේ ගැසට් නිවේදනයට එරෙහි පෙත්සම් තෙවන දිනටත් විභාගය ඇරඹෙයි

41

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් පාර්ශව 13ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් තුන්වන දිනටත් අද පෙරවරුවේ යළි විභාග කිරීම  ආරම්භ වී තිබෙනවා.
පෙරේදා දිනයේ මෙම පෙත්සම් විභාගය ආරම්භ කරනු ලැබූ අතර එය දෙවන දිනටත් ඊයේ පැවැත්වුණේ අගවිනිසුරු ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි.
ඊයේ පස්වරුවේ ඊට අදාළ නීතිපතිවරයාගේ කරුණු දැක්වීම් ද අවසන් වුණා.
ඒ අනුව අද දිනයේ පෙත්සම් විභාගය ආරම්භ වුණේ  අතරමැදි පෙත්සම්කරුවන්ගේ කරුණු දැක්වීම් වලින්.
පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනාධිපතිවරයා ගත් තීරණයට එරෙහිව වන පෙත්සම් නිෂ්ප්‍රභා කරන ලෙස නීතිපතිවරයා ඊයේ අධිකරණයෙන් ඉල්ලා සිටියා.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපතිවරයා ගත් තීරණයට එරෙහිව වන පෙත්සම් විභාග කිරීමේ බලයක් අධිකරණයට නොමැති බවයි නීතිපතිවරයා එහිදී පෙන්වා දුන්නේ.
මීට පෙර පෙත්සම් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් හෙට දක්වා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

 

Your Comments