Home දේශීය පුවත් නාඋල අක්කර සියයක්‌ විනාශයි (නාඋල - ඉන්දික අරුණ කුමාර)

නාඋල අක්කර සියයක්‌ විනාශයි
(නාඋල - ඉන්දික අරුණ කුමාර)

18

නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ඇලහැර මාර්ගයේ දෙකේ කනුව ප්‍රදේශයේ කඳු ආශ්‍රීත පරිසයේ හටගත් ගින්න හේතුවෙන් අක්කර සියයකට ආසන්න ප්‍රමානයක් විනාශ  වී ඇතැයි පොලිසිය පවසනවා.
කිසියම් පිරිසකගේ නොමනා ක්‍රියාවක් හේතුවෙන් නාඋල පරිසර පද්ධතියේ වටිනා ශාක මෙන්ම දුර්ලභ පැලෑටි  රැසක් විනාශ කරමින් ඉකුත් දා (26) අළුයම් කාලයේ හටගත් ගින්න අද පෙරවරුව  (27) දක්වා නාඋල බන්ඩරයාය, කරවිලහේන ආදී කඳු  පවතින ප්‍රදේශ කරා වේගයෙන් පැතිර ගිය බව දුම්බර මිතුරෝ පරිසර සංවිධානය සඳහන් කළා.
උස් බිම් ප්‍රදේශවල  ගිනී ගැනීම නිවා දැමීය නොහැකි බැවින් වාර්ෂිකව විශාල භූමී ප්‍රදේශයක පිහිටි පරිසර පද්ධතියට දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි  දුම්බර මිතුරෝ සභාපති නිමල් ආනන්ද කනහැර ආරච්චි මහතා පෙන්වා දෙන්නේ.
වසම් මට්ටමින් ක්‍රියාත්මක වී කටයුතු කරන ග්‍රාම නිලධාරී, කෘෂිකර්ම නිෂ්පාදන සහකාර, සංවර්ධන නිලධාරී හා සමෘද්ධි නිලධාරි ඇතුළු සිවිල් ආරක්ෂක කමිටු පවතිද්දි මෙවැනි ගිනි ගැනීම වාර්තාවීම බරපතල ගැටළුකාරි තත්ත්වයක් බව ද  හෙතෙම චෝදනා කරනවා.

වාර්ෂිකව පාරිසරික වශයෙන් සිදුවන වනාන්තර විනාශයන් සම්බන්ධයෙන් පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාගේ සෘජු මැදිහත්වීම යටතේ  ප්‍රාදේශිය වශයෙන් කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ගෙන් සැදුම්ලත් කණ්ඩායම්වලට ග්‍රාමීය පරිසර කමිටු ලෙස කටයුතු කිරීමට අවශ්‍ය බලය ලබාදීම සිදුවිය යුතු බවයි  දුම්බර මිතුරෝ පරිසර සංවිධානය අවධාරනය කරන්නේ.

නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පවතින ස්වභාවික පරිසර පද්ධතිය වාසභූමී බවට පත්කරගත්  සත්ව විශේෂ මෙන්ම බිං කෙහොඹ, බෙහෙත් නෙල්ලි වැනි දුර්ලභ ශාක රැසක්ද පවතියි.

වාර්ෂිකව දඩයම්කරුවන් මෙන්ම ගවයින් ඇතිකරන්නන් විසින් හා වානාන්තර ආශ්‍රිතව ජීවත්වන ඇතැම් පිරිස් මෙම ගිනි තැබීම් වලට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇතැයි දුම්බර මිතුරෝ පරිසර සංවිධානය කරුණු දක්වනවා.

නාඋල ප්‍රදේශයේ සිදුවන වනාන්තර ගිනි තැබීම් සම්බන්ධයෙන් අප කළ විමසීමක දී නාඋල පොලිස්ථානාධිපති සුගත් බණ්ඩාර විජේසුන්දර මහතා කියා සිටියේ  නාඋල ප්‍රදේශයේ උස් භූමී වල සිදුවන ගිනීගැනීම් නිවා දැමීම සඳහා ගිනි නිවන රථ යෙදීම දුෂ්කර බවයි.

උස් ප්‍රදේශ වලට ගිනි නිවන රථ වලට ගමන් කිරීමට ඇති නොහැකියාව මේ සඳහා බලපාන බවත්, පවතින අධික සුළං තත්ත්වය හමුවේ නිවා දැමිය නොහැකි තත්ත්වයෙන් ගින්න පැතිර ගිය බවත් හෙතෙම සඳහන් කළා.

පාරිසරික වශයෙන් මෙන්ම සමාජිය වශයෙන්ද විවිධ බලපෑම් ඇතිවන මෙවැනි ගිනී තැබීම් වලක්වා ගැනීම සම්බන්ධයෙන් මහජනතාව දැඩි විමසීල්ලෙන් පසුවිය යුතු බව ද හෙතෙම කියා සිටියා.

Your Comments