නව නිපැයුම්කරුවන්ගේ ජාතික දින සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් අද

2

තෙවන වරටත් පවත්වනු ලබන නව නිපැයුම්කරුවන්ගේ ජාතික දින සැමරුම් උත්සවය අද පැවැත්වෙනවා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීයි.
මෙහිදී 2018 සහසක් නිමැවුම් සම්මාන ප්‍රධානෝත්සවය, නව නිපැයුම්කරුවන් සඳහා ජනාධිපති සම්මාන ප්‍රදානය, නව නිපැයුම් සඳහා විශේෂ සම්මාන සහ සහතික ප්‍රදානය සිදු කරනු ඇති.
එමෙන්ම, නවෝත්පාදන වාණිජකරණය පිළිබඳ ප්‍රධාන දේශණ ඇතුළු විශේෂ අවස්ථා, ක්‍රියාකාරකම් රැසක් ද මෙම සැමරුම් දිනයේදී පැවැත්වෙන බව සඳහන්.
මෙරට ඉංජිනේරු ක්‍ෂේත්‍රයේ පියා ලෙස සැලකෙන ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ පළමු කොමසාරිස්වරයා වූ දේශබන්දු ආචාර්ය ඒ එන් එස් කුලසිංහ මහතාගේ ජන්ම දිනය ද අදට යෙදී තිබෙනවා.
ඔහුගේ ජන්ම දිනය නිමිති කරගෙනයි 2016 වසරේ සිට නව නිපැයුම්කරුවන්ගේ ජාතික දිනය ලෙස ඔක්තෝම්බර් 26 වනදා ප්‍රකාශ කෙරුණේ.
නව නිපැයුම්කරුවන් ඇගයීම, ශ්‍රී ලංකාව නවෝත්පාදන ආර්ථිකයක් කරා ගෙන යාමට වැඩි වශයෙන් නව නිපැයුම් සිදු කිරීම සඳහා ඔවුන් දිරිමත් කිරීම, නව නිපැයුම්කරුවන් ඒකරාශී කිරීම තුළින් නව නිපැයුම්කරුවන්ගේ කොමිසම ඔවුන් සමග සහ සම්බන්ධයක් ඇති කර ගැනීම, වෙළඳපල සහ ආයෝජන අවස්ථා සැලසීම යන අරමුණු  මෙම ජාතික දින සැමරුම ඔස්සේ අපේක්ෂිතයි.

 

Your Comments