Home Top Stories ඉහළ දැමුණු ඉන්ධන මිලට සාපේක්ෂව සහනයක් දෙන්නැයි බස් සංගම්වලින් ඉල්ලීමක්

ඉහළ දැමුණු ඉන්ධන මිලට සාපේක්ෂව සහනයක් දෙන්නැයි බස් සංගම්වලින් ඉල්ලීමක්

12

ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමුණු ඉන්ධන මිලට සාපේක්ෂව බස් රථ හිමියන්ට යම් සහනයක් අවශ්‍ය බව බස් සංගම් අවධාරණය කර සිටිනවා.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් අලෙවි කෙරෙන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 145 දක්වාත්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරය රුපියල් 155 දක්වාත් ඉහළ දැමීමට රජය කටයුතු කළා.
එමෙන්ම ඩීසල් ලීටරය රුපියල් රුපියල් 118 දක්වා සහ සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 129 දක්වා ඉහළ නැංවෙනු ඇති.
මීට පෙර පසුගිය බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල වැඩි කරන බවට මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළ අතර ලංකා ඛනිජ තෙල් නිතිගත අවස්ථාව එම මිල වැඩි නොකිරීමට ඊට පසු දින තීරණය කරනු ලැබුවා
කෙසේ වෙතත් අයි.ඕ.සී සමාගම වැඩි කළ මිලටම ඉන්ධන අළෙවි කිරීමටයි තීරණය කළේ.
පසුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් අලෙවි කරන ඉන්ධන මිල සම්බන්ධයෙන් ඊයේ දින විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
ඒ අනුව එහිදී තීරණය වූයේ හඳුන්වා දී ඇති මිල සුත්‍රයට අනුව සෑම මාසයකම ඉන්ධන මිල සංශෝධනය කිරීමට පියවර ගන්නා බවයි.
ඒ අනුව එය සෑම මාසයකම 10 වන දා සිදු කෙරෙන බවට ද තීරණය කළ බවයි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සදහන් කළේ.
කෙසේ වෙතත් ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග බස් රථ හිමියන්ට සහනයක් හිමිවිය යුතු බවට බස් රථ හිමියන්ගේ සංගම් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියංජිත් මහතා.

මේ හේතු කොටගෙන කෙටිදුර බස් රථ හිමියෙකුට දෛනික රුපියල් හත්සිය පනහක වගේ පාඩුවක් දරන්න වෙලා තියෙනවා. අද දහවල් කොළඹට රැස්වෙන සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ විධායක සභාව මේ ඩීසල් වැඩිවීම හේතු කොටගෙන ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කොට අවසන් තීන්දුවක් ලබාගැනීමට බලාපොරොත්තු වෙනවා. ඩීසල් පැරණි මිලටම ලබාදෙන්නේ නැත්නම් බස් ගාස්තු සංශෝධනයකට යනවා මිස වෙනත් විකල්පයක් අපට නැහැ. ඒ නිසා රජය වගකීමෙන් කටයුතු කරන්න ඕන. පැරණි මිලටම ඩීසල් ලබාදිය යුතු යැයි අද දිනයේදී සාකච්ඡා කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

මේ අතර, පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණූ විජේරත්න මහතා සඳහන් කරන්නේ ඉන්ධන මිල සූත්‍රය පිළිබඳ නිවැරදි තොරතුරු රජය ලබා දීමට ද කටයුතු කළ යුතු බවයි. මින් පෙර බස් ගාස්තු සංශෝධනයේදී බස් ගාස්තු පිළිබඳ ජාතික ප්‍රතිපත්තියට පටහැනිව ගාස්තු සංශෝධනය වූ බවද ඔහු කියා සිටියා. එසේම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාඩුවට පිළියමක් ලෙස බස් ගාස්තු සංශෝධනය සිදු කිරීමට හැකියාවක් නොමැති බවත් ඛනිජ තෙල් සංස්ථාව විනිවිදභාවයෙන් කටයුතු කළ යුතු බවත් ඔහු පෙන්වා දෙනවා. එසේම මුදල් අමාත්‍යංශය වෙත ලිපියක් යොමු කරන බවත් තම සංගමයේ ස්ථාවරය පැවැත්වෙන සාකච්ඡාවකින් අනතුරුව දන්වන බවද ගැමුණු විජේරත්න මහතා කියා සිටියා.

කෙසේ වෙතත් පසුගිය මැයි 23 වනදා සිට ක්‍රියාත්මක කළ බස් ගාස්තු සංශෝධනය හමුවේ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා කියා සිටියේ වසර 2ක් යන තුරු යළි බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවනු ඇති බවයි.

Share this Article!

Your Comments