අම්බලන්තොට අනතුරකින් එකම පවුලේ තිදෙනෙක් රෝහලට
අජිත් පුෂ්පකුමාර - අම්බලන්තොට

9

අම්බලන්තොට ලයිම මංසන්දියේදී කැබ් රථයක් හා ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන් ඊයේ (24) රාත්‍රී සිදු වූ අනතුරකින් එකම පවුලේ මව, පියා සහ පස් හැවිරිදි පුතා බරපතල තුවාල ලබා හම්බන්තොට රෝහලට ඇතුළත් කර තිබෙනවා.

තංගල්ල සිට හම්බන්තොට දෙසට ධාවනය වෙමින් තිබු කැබ් රථයක් මාර්ගය හරහා මාරුවෙමින් තිබු ත්‍රීරෝද රථයක ගැටීමෙන් රාත්‍රී 7.00 ට පමණ අම්බලන්තොට ලයිම මංසන්දියේදී මෙම අනතුර සිදුව තිබෙනවා. අධික වේගයෙන් පැමිණ ඇති කැබ් රථය ත්‍රීරෝද රථයේ ගැටීමත් සමග ත්‍රීරෝද රථය  විසි වී පෙරලී ගිය බවයි සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ. අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් ගත් අම්බලන්තොට වාදුරුප්ප ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ මව, පියා සහ පස් හැවිරිදි පුතා බරපතල තුවාල ලබා ඇති අතර ඔවුන් හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. අනතුරින් පසු කැබ් රථයේ රියදුරු පලාගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්තොට පොලීසියේ රථවාහන අංශය පරීක්ෂණ සිදු කරනු ලබනවා.

 

Your Comments