අග්නිදිග විශ්ව විද්‍යාලයට නිසි බලධාරියෙක්

9

ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා වෙනුවට නිසි බලධරයා ලෙස මහාචාර්ය උමා කුමාරස්වාමි පත් කර තිබෙනවා.
ඒ විශ්වවිද්‍යාල පනත යටතේ උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා වෙත පැවරි ඇති බලතලවලට අනුවයි.
ඊයේ සිට මෙම පත් කිරිම බලපැවත්වෙන බවයි උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.
අග්නිදිග විශ්වවිද්‍යාලයේ පරිපාලන කටයුතුවල පවතින ගැටලූ සහ විශ්ව විද්‍යාලයේ බලධාරින් එහි කටයුතු යථා තත්ත්වයට ගෙන ඒමට අපොහොසත් වීම හේතුවෙන් මෙම පත් කිරිම සිදු කර තිබෙනවා.
මේ අතර, උණ රෝගයක් හේතුවෙන් මහනුවර කුණ්ඩසාලේ පිහිටි ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දමා තිබෙනවා.
එහි අධ්‍යක්ෂ අමල් අරුණප්‍රිය මහතා පැවසුවේ සිසුන් අතර උණ රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි.
සිසුන් 250 කට අධික පිරිසක් කුණ්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාලයේ ඉගෙනුම ලබන අතර ඔවුන්ගෙන් 11 දෙනෙකුට උණ රෝගය වැළඳී ඇති බවයි අධ්‍යක්ෂවරයා කියා සිටියේ.
අදාළ සිසුන් මැණික්හින්න රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ට උණ, වමනය සහ පාචනය ඇතුලු රෝග ලක්ෂණ පෙන්නුම් කරන බව ද අමල් අරුණප්‍රිය මහතා සඳහන් කළා.

Your Comments