පළිඟු මැණිකේ නිහඬ වූ හේතුව මෙන්න

16

මැණිකේ අත්තනායක ගැන කතාබහ කරද්දී බොහෝ දෙනාගේ මතකයට මුලින්ම එන්නේ “පළිඟු මැණිකේ” ටෙලි නාට්‍යයයි. ඒ වන විටත් වේදිකාවේද කැපී පෙනෙන නිළියක වූ ඇය ටෙලි නාට්‍ය නිළියක ලෙස අලුත් ගමනක් ආරම්භ කළේ පළිඟු මැණිකේ ටෙලි නාට්‍යයෙනුයි. පළිඟු මැණිකේ විදිහට එදා අතිශය ජනප්‍රිය වූ මැණිකේ අත්තනායක ඉන් අනතුරුව කලා නිර්මාණ රැසකට සිය රංගන දායකත්වය ලබා දුන්නා. නමුත් අද ඇය කලාතුරකින් පමණක් පුංචි තිරයේ දකින්නට ලැබෙන රංගන ශිල්පිනියක බවට පත් වෙලා. ඊට බලපා තිබෙන සැබෑම හේතුව කුමක්ද යන වග ඇය අද අපිට හෙළි කළා.

මැණිකේ අත්තනායක කියන රංගන ශිල්පිනිය දැන් ටිකක් නිහඬ වෙලයි ඉන්නේ කියලා කීවොත් හරි නේද?

එහෙමම කියන්න බෑ. මොකද හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණොත් අදටත් මම ඒක භාරගන්න මැලිවෙන්නේ නැහැ. හැබැයි මම නිහඬ වෙලා වගේ පේනවා නම් ඒක මගේ වරදක් නිසා සිද්ධ වෙච්ච දෙයක් ‍නෙවෙයි.

එහෙනම් කවුද ඒකට වගකියන්න ඕනෑ?

මම භාරගත්තේ යම් කිසි ප්‍රමිතියක් තියෙනවා කියලා මට හිතෙන නිර්මාණ විතරයි. හැබැයි අද එවැනි නිර්මාණ බිහි වෙනවා බොහොම අඩුයි. ඒ කා‍ලේ හොඳ ටෙලි නිර්මාණ පුංචි තිරයට ගෙනාපු හුඟක් නිර්මාණකරුවෝ අද නිහඬ වෙලයි ඉන්නේ. දක්ෂ රංගන ශිල්පීනුත් හුඟ දෙනෙක් අද නිහඬයි.

ඒ කියන්නේ දැන් බිහි වෙන ටෙලි නාට්‍ය ගැන ඔබේ කිසිම පැහැදීමක් නැද්ද?

ඇත්තටම ඔව්. මිනිස්සුන්ගේ මනස විකෘති කරන විදිහේ දරුණු දේවල් තමයි අද ටෙලි නාට්‍යය වලින් පෙන්වන්නේ. මේවා අපටවත් දරුවොත් එක්ක එකට ඉඳගෙන නරඹන්න බැහැ. සමහර නිර්මාණකරුවෝ පිටරට දේවල් අමු අමුවේ කොපි කරලා ටෙලි නාට්‍ය හදනවා. කාලයක් තිබුණා නාගයෝ මිනිස්සු බවට පත් වෙන හැටි පෙන්වන ටෙලි නාට්‍යය රැල්ලක්. මේ විදියේ එක එක රැළි එනවා මිස ප්‍රමිතියක් තියෙන ටෙලි නාට්‍යයක් නම් ඉතාම කලාතුරකින් තමයි බිහි වෙන්නේ.

අපේ සමහර නළු නිළියොත් වහ වැටිලා වගේ මේවායේ රඟපානවා. රූපවාහිනී නාලිකා දුවන්නෙත් පචබඪදඨඵ පස්සේ නිසා විශාල පිරිහීමක් තමයි අද ටෙලි කර්මාන්තයේ තියෙන්නේ.

ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය ගැන කලකිරීමෙන්ද ඔබ ඔය කතා කරන්නේ?

ඇත්තටම ඔව්. අපේ ටෙලි නාට්‍ය කර්මාන්තයට අද සිද්ධ වෙලා තියෙන දේ ගැන හොඳටම කලකිරිලයි මම දැන් ඉන්නේ. හුඟක් අය අදටත් මට කියනවා “පළිඟු මැණිකේ” ටෙලි නාට්‍යයේ ඔයා රඟපාපු හැටි තවමත් අපට මතකයි. දැන් ඒ වගේ ටෙලි නාට්‍ය හැදෙන්නේ නැහැනේ ඇයි ඔයගොල්ලෝවත් මැදිහත් වෙලා හැමෝටම බලන්න පුළුවන් හොඳ ටෙලි නාට්‍ය හදන්නේ නැත්තේ කියලා.

ඇත්තටම ඇයි ප්‍රවීණයන්ටවත් ඒ සඳහා මැදිහත් වෙන්න බැරි?

අද මොකක්හරි ටෙලි නාට්‍යයක් ජනප්‍රිය වුණොත් අධ්‍යක්ෂවරයෙක් ඒ වගේ තවත් වෙනත් නිර්මාණයක් හදනවා. අද ප්‍රේක්ෂකයන්ගේ රුචිකත්වය මොන වගේද කියලා තේරුම් ගන්නත් අමාරුයි. අනික ටෙලි නාට්‍යයක් හැදුවත් ඒක විකාශය කර ගන්නේ කොහොමද කියන ගැටලුවත් තියෙනවනේ. ඒ නිසා ආසාව තිබුණත් හුඟක් අය ටෙලි නාට්‍යයකට අත ගහන්න බයයි.

ප්‍රේක්ෂකයන් අතරේ අදටත් අතිශය ජනප්‍රිය “පළිඟු මැණිකේ” ටෙලි නාට්‍යයේ දෙවැනි කොටසක් නිර්මාණය කිරීමේ සූදානමක් තිබුණා නේද?

ඔව්. මමත් අධ්‍යක්ෂ දයාරත්න රටගෙදරට වතාවක් යෝජනා කළා අපි පළිඟු මැණිකේ ටෙලි නාට්‍යයේ දෙවැනි කොටසක් හදමු කියලා. පළිඟු මැණිකේ තිර පිටපත ලියපු සෝමවීර සේනානායක මහත්තයට මේ ගැන කියමු කියලයි අපි හිතාගෙන හිටියේ. නමුත් ඊට කලින් ඔහු අප අතරින් වෙන් වුණා.

කලා ක්ෂේත්‍රය විවිධාකාරයේ අර්බුද එක්ක ගැටෙමින් මතෛක් ආපු මග දිහා බලද්දී දැන් ඔබට මෙනවාද හිතෙන්නේ?

මම කලා ක්ෂේත්‍රයට ඇවිත් දැන් අවුරුදු 40කටත් වැඩියි. ඒ කාලය තුළ වේදිකාව, පුංචි තිරය, සිනමාව ආදී හැම ක්ෂේත්‍රයකින්ම මගේ හැකියාව රටට පෙන්වන්න මට අවස්ථාව ලැබුණා. අද මම ඉන්නා තැන ගැන මට සතුටුයි. ඒ කා‍ලේ මට ගුරුවරියක් විදිහට පත්වීමක් ලැබුණා. ඒත් කලාව වෙනුවෙන් මම ඒ රැකියාව අත්හැරියා. එදා ඒ තීරණය නොගත්තා නම් මම අද මෙතන නැහැ.

කිෂාන් කනංකෙ
-Lakbima-

Your Comments