තත්පර ගණනකින් ඕනෑම තැනක් අළු දූවිලි කරන රුසියාවේ සුපිරිම ගිනි අවිය

34

ශබ්දයේ වේගය ඉක්මවන වේගයකින් ඉඟිල ගොස් ලෝකයේ ඕනෑම තැනකට මිනිත්තු ගණනක් ඇතුළත පහර දිය හැකි වන සේ රුසියාව විසින් නිපදවනු ලැබ ඇති ‘අපරාජිත’ අවිය, 2020 ඇවිළෙතැයි සැලකෙන සංග්‍රාමය සඳහා සූදානම්ව තිබේ. මෙය රැගත් යානය ‘ඇවන්ගාඩ්’ නමින් හැඳින්වෙන අතර ඒ පිළිබඳ තොරතුරු දන්නා බව කියන ඇමෙරිකා එක්සත් ජනපද ඔත්තු සේවයට ප්‍රවේශ වීමේ අවස්ථාවක් තමන්ට ලැබිණැයි නිර්ණාමිකව සඳහන් කරන මූලාශ්‍රයකින් මෙය අනාවරණය වී තිබේ. ශබ්දයේ වේගය මෙන් විසි ගුණයක වේගයෙන් ඉගිල යා හැකි ඇවන්ගාඩ් වැළැක්වීමට ඇමෙරිකාවට දැනට ශක්තියක් නැත.

රුසියාව 2016දී දෙවරක්ම ‘ඇවන්ගාඩ්’ ඉතා සාර්ථක ලෙස අත්හදා බලා ඇති අතර 2017 ඔක්තෝබරයේදී තුන් වැනි වරටද එය අත්හදා බැලීමට දරන ලද උත්සාහය අසාර්ථක වූයේ අවිය නියමිත ඉලක්කයට විද හැරීමට තත්පර කීපයකට කලින් එය නංවා තිබුණු වේදිකාව කඩා වැටුණු හෙයිනි. එහෙත් දශක තුනක් තිස්සේ ‘ඇවන්ගාඩ්’ වැඩිදියුණු කිරීමේ කටයුතුවල යෙදී සිටින රුසියාව ඉදිරි වසර දෙකක කාලය තුළ ඇති වෙතැයි සැලකෙන යුද්ධය සඳහා එය සූදානම් කර තබා ගැනීමට පියවර ගනියි. ශබ්දයේ වේගය ඉක්මවා යා හැකි තම යුද අවිය පරාජය කළ හැක්කක් නොවේයැයි රුසියා ජනාධිපති ව්ලැද්මීර් පුටින් ප්‍රකාශ කිරීමෙන් මාස කීපයකට පසු මෙම අවිය පිළිබඳ පුවත ප්‍රචාරය වූයේය.

අන්තර් මහාද්වීපික මිසයිලයක මුදුනෙහි රැඳවිය හැකි අන්දමින් ඇවන්ගාඩ් නිර්මාණය වී ඇති අතර විදහරිනු ලැබූ විට වායුගතික ශක්තිය උපයෝගී කොට ගන්නා අවිය වායු ගෝලයේ ඉහළම ස්ථරය මත ඉඟිල යයි. මිසයිල ප්‍රහාර වළක්වන කිසිම උපක්‍රමයකට කිසිසේත්ම හසු නොවී ක්ෂණිකව නොයෙක් අතට හැරෙමින් ගමන්මඟ වෙනස් කරමින් නියමිත ඉලක්කය කරා යෑමේ ශක්තිය මෙම අවියට තිබේ. මෙම ගිම්හානයේදී ඇවන්ගාඩ් හතර වැනි වරටද අත්හදා බැලීමට රුසියාව බලාපොරොත්තු වෙයි.

තමන්ගේ මිසයිල ආරක්ෂක උපක්‍රමවල පවත්නා අඩුපාඩු හඳුනා ගෙන ඒ තැන්වලට පහර දීමට මේ ගණයේ අවිවලට හැකි වෙතැයි මිසයිල ආරක්ෂක ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ තෝමස් කැරොකේ පුවත්පත් සමඟ කළ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

ඇවන්ගාඩ් අවියේ ස්වභාවය

මීට එරෙහිව ක්‍රියාත්මක වන සියලු උපක්‍රමවලට ප්‍රබල අන්දමින් ප්‍රතිචාර දැක්විය හැකි ඉතා දියුණු කාර්ය පද්ධති මීට ඇතුළත්ව තිබෙන අතර මිසයිල ප්‍රහාර වළක්වන උපක්‍රමවලට එම පද්ධති මඟින් බාධා පැමිණවීමේ ශක්තියද ඇවන්ගාඩ් සතුව තිබේ. ඇවන්ගාඩ් අවිය ගුවනට රැගෙන යන ග්ලයිඩර් යාත්‍රාව නිර්මාණය කරනු ලැබ තිබෙන සුවිශේෂ උපායශීලී ස්වභාවය නිසා, එය ගුවන්ගත වුණු බවක් හඳුනා ගැනීමට හෝ වෙනත් යානයකට එය හඹා යෑමට හෝ පුළුවන්කමක් නැත. මෙම අවියට න්‍යෂ්ටික මිසයිල ශීර්ෂද යෙදිය හැකි නමුත් ඊට යෙදෙන පුපුරන ද්‍රව්‍ය අවශ්‍ය බර ප්‍රමාණයෙන් නොතිබුණද එහි වේගයම එයින් සිදු වන හානිය හීන නොවීමට හේතු වන බව මේ පිළිබඳ විශේෂඥයෝ කියති. පැය භාගයකින් පෘථිවිය වටා යා හැකි වේගයක් මෙහි තිබෙන බවද ඔවුහු සඳහන් කරති.

මිසයිල ප්‍රහාරවලින් ආරක්ෂා වීම සඳහා තමන් සතුව තිබෙන සියලු උපක්‍රම නවීකරණය කර ගත යුතු සුදුසුතම අවස්ථාව මෙය බවත් මේ අතින් මෙතෙක් දුර එන්නට ඉඩ ලැබීම ඉතා අවාසනාවන්ත සිද්ධියක් බවත් තෝමස් කැරකෝ ප්‍රකාශ කළේය. ශබ්දයේ වේගය මෙන් විසි ගුණයක වේගයෙන් ගමන් කළ හැකි මෙම අවියෙන් එල්ල වන ප්‍රහාරයක් උල්කාපාතයක හෝ ගිනි බෝලයක ප්‍රහාරයක් මෙන් බිහිසුණු විය හැකි යැයිද ඔහු පැවැසීය. ශබ්දයේ වේගය ඉක්මවන මෙවැනි නිෂ්පාදන දැන් අනුක්‍රමික කාර්යයක් බවට පත්ව තිබේ යැයි රුසියාවේ රාජ්‍ය ආරක්ෂක කමිටුවේ හිටපු නියෝජිතයෙක්ද ප්‍රකාශ කළේය.

ශබ්දයේ වේගය ඉක්මවන මිසයිලවල ක්‍රියාකාරිත්වය

ශබ්දයේ වේගය ඉක්මවන වේගයකින් ධාවනය විය හැකි ගුවන් යානා සහ මිසයිල ‘හයිපර්සොනික්’ යනුවෙන් ඉංග්‍රීසියෙන් හැඳින්වෙයි. ශබ්දයේ වේගය මෙන් පස් ගුණයක හෙවත් මැක් වේගයකින් යුත් ගුවන් යානා හෝ මිසයිල මේ ගණයට අයත් වෙයි. එම දුර ප්‍රමාණය තත්පරයට මීටර 1,715කි. පැයට හැතැප්ම 3,836කි. පැයට කිලෝමීටර 6,174කි. ශබ්දයේ වේගය ඉක්මවන නවතම පන්තියේ මිසයිල දැනට තිබෙන සාමාන්‍ය මිසයිලවලට වඩා ප්‍රමාණයෙන් කුඩා විය හැකි බවද කාර්යක්ෂමතාව පිරික්සීම පිණිස කරනු ලබන අත්හදා බැලීම්වලදී කාලය කෙරෙහි සංවේදීතාවක් දැක්වෙන ලෙසත් කඩිනම් ප්‍රතිචාර ප්‍රදර්ශනය වනු පිණිසත් සාම්ප්‍රදායි ස්ඵෝටන හෙවත් පුපුරන ද්‍රව්‍ය ගෙන යා හැකි වන සේ මෙය සැලැසුම් කෙරෙන බවද විශේෂඥයෝ පෙන්වා දෙති. ස්ක්‍රැම්පේට් හා බූස්ට් ග්ලයිඩ් යන මිසයිල දෙවර්ගය මෙම මිසයිලවලින් එල්ල වන අභියෝගයට මුහුණ දිය හැකි උපාය මාර්ග දෙකක් බවද කියවෙයි.

වායුව ආශ්වාස කරන ස්ක්‍රෑම්පේට් මිසයිලය ඊට අවශ්‍ය බල ශක්තිය සඳහා අධික වේගය මත යැපෙන්නෙකි. මෙහි වේගය වැඩිවත්ම වැඩිපුර වායුව හා ඉන්ධන ඇන්ජිම තුළට තෙරපා යැවෙන විට එහි වේගය ශබ්දයේ වේගය ඉක්මවන තෙක් වර්ධනය වෙයි. බූස්ට් ග්ලයිඩ් මාදිලියේ මිසයිලය පෘථිවි වායුගෝලයේ ඉහළම ස්ථරය ඔස්සේ ඇදී ගොස් යළි වායුගෝලයට ඇතුළු වෙයි. සාම්ප්‍රදායික බැලැස්ටික් මිසයිල පවා මේ වන විට ශබ්දයේ වේගය ඉක්මවන තත්ත්වයට වැඩිදියුණු වී තිබේ යැයි විශේෂඥයෝ කියති. නෂ්‍යෂ්ටික හා සාම්ප්‍රදායික යුදශීර්ෂ රැගෙන යා හැකි සේ නිර්මාණය වී තිබෙන මෙම මිසයිලවලට අභ්‍යවකාශයට පිවිසීමේ ශක්තිය ඇතත් මෙහෙයුමකින් තොරව ක්‍රියාත්මක වීමට නුපුළුවන.

ගතවූ පසළොස් වසර පුරා අවි තරගය තියුණු කරමින් රුසියාවේ සංවර්ධනය වැළැක්වීම සඳහා ඊට එරෙහිව නීති විරෝධී ද්විපාර්ශ්වික සම්බාධක පැනවූ සිය දෙනාටම කිවයුත්තක් තිබේ යැයි පැවැසූ රුසියා ජනාධිපති ව්ලැද්මීර් පුටින් මෙසේ පැවැසීය. ‘රුසියාවේ ගමන වැළැක්වීමට ඔබ දැරූ ප්‍රයත්නය අසාර්ථක වී ඇත.’ ශබ්දයේ වේගය ඉක්මවන අවියක් වැළැක්වීමේ ශක්තියක් ඇමෙරිකා එක්සත් ජනපද හමුදාවලට නැතැයි එරට න්‍යෂ්ටික කටයුතු භාර උසස් නිලධාරියෙක් මාර්තු මාසයේ පැවැත්වූ දේශනයකදී ප්‍රකාශ කළේය. තමන්ට එරෙහිව එවැනි අවියක් ක්‍රියාත්මක වෙතැයි යන මතය ප්‍රතික්ෂේප කළ හැකි තත්ත්වයෙන් ආරක්ෂක උපායමාර්ග තමන් සතුව නැතැයි ඇමෙරිකාවේ ගුවන් හමුදා ජෙනරාල් සහ උපාය මාර්ගික ආයතනයේ විධායක ජෝන් හයිටන් උත්තර මන්ත්‍රි මණ්ඩලයේ සන්නද්ධ සේවා පිළිබඳ කමිටුවේ සාමාජික මන්ත්‍රිවරුන් හමුවෙහි ප්‍රකාශ කළේය.

පරිවර්තනය
ප්‍රේමචන්ද්‍ර අල්විස්

Your Comments