ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජනපතිගෙන් ජගත් මහ සභාවට විශේෂ යෝජනාවලියක්

21

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරි එක්සත් ජාතීන්ගේ මහ සභා රැස්වීම අමතමින් විශේෂ විසදුම් යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
අවස්ථා ගණනාවකදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ එහි මානව හිමිකම් කොමිසමට ලැබුණු පැමිණිලි සහ ඒවාට ඉදිරිපත් වූ නිර්දේශ සම්බන්ධයෙන් මෙම විසදුම් යෝජනාවලිය ප්‍රකාශයට පත් කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.
අද පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී මෙරට ජන මාධ්‍ය ආයතන හිමිකරුවන් සහ ඒවායේ ප්‍රවෘත්ති ප්‍රධානීන් මුණ ගැසුන අවස්ථාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව කියා සිටියා.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති සියලු නිර්දේශයන්ට විසදුමක් ලෙස නව යෝජනාව ඉදිරිපත් කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසුවා.
එම යෝජනාව ලබන මාර්තු මාසයේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ලිඛිතව ඉදිරිපත් කරන බව ජනාධිපතිවරයා එහිදී පැවසුවා.
මේ අතර තමා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන සැලැස්මක් ඇති බවට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා තවත් පුද්ගලයෙකු සමග කළ සංවාදය පිළිබඳව සොයා බැලීමට විශේෂ කමිටුවක් වෙත බලය පවරා ඇතැයි ද ප්‍රවෘත්ති ප්‍රධානියෙකු විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ජනාධිපතිවරයා කියා සිටියා.
මිල සූත්‍රය සම්බන්ධයෙන් ජනතාව බලාපොරොත්තුවන තත්ත්වයන් ලගා කර ගැනීමට නොහැකිවීම තුළ යලිත් එම ක්‍රමවේදය පිළිබඳව සොයා බැලිය යුතු බව ද ජනාධිපති මෙත්‍රෙීපාල සිරිසේන මහතා පෙන්වා දුන්නා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් හිටපු ආරක්ෂක නිලධාරීන් සහ වර්තමාන ආරක්ෂක ප්‍රධානීන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම් දිගින් දිගටම දක්නට ලැබුණ ද ඔවුන්ට එරෙහි අධි චෝදනා භාරදීමක් හෝ නඩු පැවරීමක් සිදු නොවීම කණගාටුවට කරුණක් බව ද ජනාධිපතිවරයා කියා සිටියා.
ඊයේ දිනයේ තමා විශේෂ කැබිනට් රැස්වීමක් පැවැත්වීමට කටයුතු කරනු ලැබුවේ මෙවැනි වර්තමාන දේශපාලන කාරණා රැසක් පිළිබඳව සාකච්ඡා කිරීමට බව ද ජනාධිපතිවරයා පැවසුවා.

ජනපති සහ සහ මාධ්‍ය ප්‍රධානීන් අතර හමුවේදී රජයේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර එම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කපිල වෛද්‍යරත්න මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

Your Comments