කල්පිටියේ එළවලු මල්ලම රුපියල් පහයි

30

කල්පිටිය අර්ධද්වීපයේ වගා කරන එළවලු වර්ග කීපයක මිළ ඉතා පහළ බැසීම හේතුවෙන් ගොවින් දැඩි අසීරුතාවකට පත්ව තිබෙනවා.
මිරිස් කිලෝවක මිළ රුපියල් තිහ දක්වා පහත බැස ඇති අතර නිවිති කිලෝවක මිළ රුපියල් දහය දක්වාත් රාබු, පිපිඤ්ඤා, ආදී එළවලු කිලෝවක මිලද රුපියල් දහයේ සිට පහළොව අතර වෙයි.

මාළු මිරිස් හා රතු ළූණු කිලෝවක මිලද රුපියල් හැත්තෑව දක්වා පහත බැස තිබේ.

නොරොච්චෝලේ ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන එනු ලබන එළවලු විකුණා ගත නොහැකිව ඉවත දමන අවස්ථාද ඇති බව කියවෙයි.

මේ පිලිබඳ නොරොච්චෝල ප්‍රදේශයේ පාරම්පරික ගොවියෙකු ප්‍රකාශ කලේ රට පුරා කුඹුරු අක්කර විශාල ප්‍රමාණයක එළවළු වගා කිරීම මේ තත්වයට හේතුව බවයි.
බලධාරීන් කල යුත්තේ කුඹුරු ඉඩම්වල වී වගා කිරීම සදහා පමණක් බාවිතා කිරීමට හැකි වන පරිදි නීති රීති සකස් කළ යුතු බවද හෙතෙම අවධාරණය කර සිටී.

මේ තත්වයට ප්‍රධාන හේතුව බලධාරීන්ගේ නොසැලකිල්ල බව කල්පිටියේ ගොවියෙකු ප්‍රකාශ කළා.

මේ පිළිබඳ කළ විමසීමේදී වයඹ පළාත් ධිවර, වාරිමාර්ග, කෘෂිකර්ම අමාත්‍ය සුමල් තිසේරා මහතා ප්‍රකාශ කලේ මේ වන විට එළවළු කිලෝවක නොව එළවළු පෙට්ටියක මිළ රුපියල් පහ දක්වා පහත බැස
ඇති බවයි.

මෙයට ප්‍රධාන හේතුව යාපනයෙන් හා දඹුල්ල ප්‍රදේශයෙන් විශාල එළවලු ප්‍රමාණයක් වෙළඳපලට පැමිණීම බව පෙන්වා දෙන අමාත්‍යවරයා, පොහොර භාවිතය ඉහල අගයක් ගැනීම හේතුවෙන් එළවලු කල්තබා ගැනීමේ ක්‍රමවේදයක් අනුගමනය කරනවා හැරුණු කොට වෙනත් කල හැකි දෙයක් නොමැති බවද සඳහන් කරයි.

Your Comments