ශ්‍රී ලංකා – සිංගප්පූරු ගිවිසුම ගැන සෙවීමට ජනපතිගෙන් විශේෂ කමිටුවක්

14

ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ විශේෂ අධ්‍යයනයක් සිදුකර වාර්තා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ස්වාධීන විශේෂඥයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කර තිබෙනවා.
ඒ, අදාළ ගිවිසුම සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන්ගෙන් ලැබී ඇති අදහස් සළකා බලමින්.
ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, විශ්‍රාමලත් ආර්ථික විද්‍යා මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතාගේ සභාපතීත්වයෙන් කමිටුව පත් කර තිබෙනවා.
කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ ආර්ථික විද්‍යා විශේෂඥයින් වන මහාචාර්ය සිරිමෙවන් කොළඹගේ, මහාචාර්ය අජිතා තෙන්නකෝන්, ආචාර්ය සනත් ජයනෙත්ති සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු සහකාර අධිපති ආර්.ඒ. ජයතිස්ස යන මහත්වරුන්.
ශ්‍රී ලංකා – සිංගප්පුරු වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් විශේෂ අධ්‍යයනයක් සිදුකිරීමටත්, යෝජිත නව වෙළෙඳ ප්‍රතිපත්තියේ ප්‍රායෝගික බලපෑම් හා භාවිතයන් සළකා බැලීමත් ඔවුන් විසින් සිදු කරනු ඇති.
එමෙන්ම ඉදිරියේ දී මෙරට වෙළෙඳ ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය මගපෙන්වීම සඳහා නිර්දේශ ලබා ගැනීම ද කමිටුව මගින් අපේක්ෂා කරනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ මෙම කමිටුව සඳහා යෝජනා හා අදහස් ඉදිරිපත් කිරීම සඳහා සියලු පාර්ශවයන් වෙත අවස්ථාව පවතින බවයි.
කමිටුවේ අවසන් වාර්තාව මාස දෙකක් ඇතුළත ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතයි.
විශේෂඥ කමිටුවේ ප්‍රගතිය සහ කාර්යභාරයන් අතුරු වාර්තා මගින් ජනාධිපතිවරයා විසින් සොයා බලනු ඇති.

Your Comments