දුම්රිය වැඩ වර්ජනය තුන්වන දිනටත් – ලංගමයෙන් අතිරේක බස් 6000ක්

21

වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ දුම්රිය වැඩ වර්ජනය අද තුන්වන දිනටත් ක්‍රියාත්මක වනවා.

කෙසේ වෙතත් දුම්රිය 10ක් පමණ ධාවනයට යොදවා ඇති බවයි පාලක මැදිරිය පැවසුවේ.

වැටුප් විෂමතා මුල් කරගනිමින් දුම්රිය රියදුරන්, නියාමකවරුන්, පාලකවරුන් සහ ස්ථානාධිපතිවරුන් මෙන්ම දුම්රිය අධීක්ෂණ කළමනාකරණ සේවයට අදාළ වෘත්තීය සමිති 05 ක්ද වැඩ වර්ජනයේ නිරතවනවා.

වෘත්තීය සමිති කිහිපයක් හදිසි වැඩ වර්ජනය ආරම්භ කළේ, පෙරේදා පස්වරු 3.00ටයි.

වර්ජනය සමග මාසික වාර ප්‍රවේශ පත්‍ර මෙතෙක් ලබා ගැනීමට නොහැකි වූ මගීන් සඳහා වර්ජනය අවසන් වීමෙන් පසු අතිරේක දින දෙකක දී ද ප්‍රවේශ පත්‍ර ලබා දීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

වර්ජනයෙන් අපහසුතාවට පත්ව සිටින මගීන් සඳහා අතිරේක බස් රථ 6000ක් පමණ යොදවා ඇති බවයි ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවේ.

දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර හිමි මගීන්ට ලංගම බස් රථවල නොමිලේ ගමන් කළ හැකි බවයි රජය ප්‍රකාශ කළේ.

මගී අවශ්‍යතාව අනුව බස් රථ ධාවනය කරවීමට යුධ හමුදාවද කටයුතු සංවිධාන කර තිබෙනවා.

දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සඳහන් කළා.

ඒ අනුව ඊට අදාළ ගැසට් පත්‍රය සකස් කිරීමේ කටයුතු සිදු කෙරෙන බව සඳහන්.

Your Comments