රජයේ අලුත්ම ඖෂධ නිෂ්පාදනාගාරය

15

දේශපාලන තීන්දු නොව වෘත්තීයමය තීන්දු ගන්නා පරිපාලකයන් රාජ්‍ය ආයතනවලට අවශ්‍ය බව ඇමැති රාජිත සේනාරත්න මහතා පවසනවා.
රත්මලාන කඳවලවත්ත ප්‍රදේශයේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ නව  ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාව විවෘත කෙරුණු උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

ජපානයේ ජයිකා ආයතනයේ ජපන් යෙන් මිලියන 1240ක ආධාර මත රත්මලාන කඳවලවත්ත ප්‍රදේශයේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ ඉදි කරන ලද නව  ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සහභාගීත්වයෙන් විවෘත කෙරුණා.
ඊට සමගාමීව ඖෂධ ගබඩා සංකීර්ණයක් ද විවෘත කරනු ලැබුවා.

මුළු මුදලින් යන්ත්‍රෝපකරණ සදහා වැය කළ මුදල ජපන් යෙන් මිලියන 910කි.
ජර්මනිය, ජපානය, දකුණු කොරියාව සහ චීනයෙන් යන්ත්‍ර සූත්‍ර ආනයනය කර තිබෙනවා.
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ දැනට පවතින නිෂ්පාදන ධාරිතාව වසරකට පෙති හෝ කරල් මිලියන 1922ක්. මෙම ව්‍යාපෘතිය මගින් එය මිලියන 3337ක් දක්වා වැඩිවෙනු ඇති.
එමගින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධ අවශ්‍යතාවයෙන් සියයට 70ක් පමණ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සපයනු ලබයි.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා..


" .. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ ප්‍රවර්ධනයක් ඇති වී තිබෙනවා.
ඖෂධ නිෂ්පාදනය කිරීම වැඩි කිරීමේ අරමුණින් තමයි මෙම කර්මාන්ත ශාලාව ඉදි කළේ.
සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමටත් මම පියවර ගත්තා.
අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල නියාමනය කළා.
විවිධ බලපෑම් එල්ල වුනා.
නමුත් මම තීරණය කළේ මෙම ජනතා සේවාව මම නොකළහොත් ඉදිරියේ දී කිසිවෙක් නොකරන බවයි.
සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පිළිගෙන තිබුනා.
නමුත් අපට එය ක්‍රියාත්මක කිරිමට කාලයක් ගත වුනා.
ජනතාවගේ අහිංසක ඉල්ලීම් වලට ඉඩ දිය යුතුයි.
පෞද්ගලික රෝහල් නියාමනය කිරීම ඉදිරියේ දී සිදු කරනු ලබනවා.
ඖෂධ මිල අඩු කිරීම නිසා ගුණාත්මකභාවයෙන් යුත් ඖෂධ භාවිතය ඉහළ ගොස් තිබෙනවා.
එහි ප්‍රතිඵල ලැබෙන විට තවත් වසරක් පමණ ගත වෙයි.
රුපියල් සත වලට වඩා මනුෂ්‍යකම තමයි ඉතා වැදගත්.
පොල් බෑයේ මිල, ඉන්ධන මිල ඉහළ ගිය විට කථා කරනවා.
නමුත් ඖෂධ මිල අඩු වූ විට ස්ටෙන්ස් මිල අඩු වූ විට මාධ්‍ය කථා කරන්නේ නැහැ.
මෙලොව උපත ලබන ඕනෑම පුද්ගලයෙක් රෝගියෙක් වෙන්න පුළුවන්.
එම නිසා මිනිස්සු ජීවත්කරවීම තමයි යහපාලනයේ පළමු පියවර විය යුත්තේ.
එය අපි ඉටු කරනවා.
ලෝක බැංකුව ඇමරිකන් ඩොලර් මිලියන 200ක මුදලක් සෞඛ්‍ය සේවාව ගොඩනැංවීම සදහා ලබාදෙනවා.
පවතින රාජ්‍ය සේවයත් සමග එය වැය කිරිම තමයි ප්‍රශ්නය.
දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙල යටතේ ගිවිසුම් 46ක් අත්සන් කර තිබෙනවා.
2019 වසරේ මාර්තු මාසය වන විට කර්මාන්ත ශාලා 15ක් විවෘත කර ඖෂධ නිෂ්පාදනය සිදු කිරීමට හැකියාව ලැබෙනවා. මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන විට දුම්කොළ සමාගම්, ඖෂධ සමාගම්, පැණිබීම සමාගම් මට විරුද්ධව වැඩ කරනවා. නමුත් ජනාධිපතිවරයා මට යෝධ ශක්තියක් ලබාදෙනවා.
විවිධ බලපෑම් එල්ල වුනත් අවශ්‍ය ක්‍රියාමාර්ග මම ගන්නවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවා ප්‍රකාශ කර තිබෙනවා මෙවැනි ක්‍රියාමාර්ග ගැනීම නිසා  මට බලපෑම් එල්ල විය හැකි බව මගේ ආරක්ෂාවට ලෝක සෞඛ්‍ය සංවිධානයත් ඉදිරිපත් වෙනවා.
අපේ වැඩ පිළිවෙල ජාත්‍යන්තරය අගය කළත් මෙරට අගය කරන්නේ නැහැ.
එය මහාචාර්ය සේනක බිබිලේ මහතාටත් සිදු වුනා.
ලංකාව අගය නොකළත් ජාත්‍යන්තරය ඔහු අගය කළා.
ලංකාවේ ආයතනවලට දේශපාලන තීන්දු නොව වෘත්තීයමය තීන්දු ගන්නා පරිපාලකයින් අවශ්‍යයයි.
ඖෂධ ආනයන සමාගම් ප්‍රකාශ කරනවා ලාභයක් නොමැති බව.
නමුත් ඇතැම් ඖෂධ සමාගම් තවමත් ෆාමසි වලට විශාල වට්ටම් ලබාදෙනවා.
ඖෂධ මිල පාලනය කිරීමේ දී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඉටු කරන සේවාවත් ඉතාම වැදගත්…"


මෙම උත්සවයේ දී ජනාධිපතිවරයාට සහ සෞඛ්‍ය අමාත්‍යවරයාට සමරු සිහිවටන දෙකක් ද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය සයුර සමරසුන්දර මහතා විසින් පිරිනමනු ලැබුවා.

මෙම අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය, ජපානයේ ශ්‍රී ලංකා තානාපති, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සහ අනුබද්ධ ආයතනවල සභාපතිවරු සහ කළමණාකාර අධ්‍යක්ෂවරුන්, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය සයුර සමරසුන්දර, කළමණාකර අධ්‍යක්ෂ ටී. සුන්දරලිංගම්, සාමාන්‍යාධිකාරීනී සුජීවා ජයසුන්දර මහත්මිය ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියා


.

Your Comments