ස්ථාන මාරුවීම් ලබා නව සේවා ස්ථානයන්ට වාර්තා නොකරන වෛද්‍යවරුන්ගේ සහ හෙද හෙදියන්ගේ වැටුප් අත්හිටුවීමේ තීරණයක්

12

ස්ථාන මාරුවීම් ලබාදී තිබියදීත් නව සේවා ස්ථානයන් හී සේවයට වාර්තා නොකරන වෛද්‍ය සහ හෙද හෙදියන්ගේ වැටුප් ගෙවීම අත්හිටුවීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය ලේකම් බී.ජී.එස්. ගුණතිලක මහත්මිය වෙත දැනුම් දී ඇති බව නිවේදනයක් නිකුත් කරමින්  සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
එසේම ස්ථාන මාරුවීම් ලබාදී ඇති වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් මුදානොහරින රෝහල් අධ්‍යක්ෂවරුන් සම්බන්ධයෙන්ද විනය ක්‍රියා මාර්ග ගන්නා ලෙසයි සෞඛ්‍ය අමැතිවරයා දැනුම්දී ඇති බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. එවැනි රෝහල් සඳහා ලබාදෙන මූල්‍ය ප්‍රතිපාදන නතර කිරීමටත් රෝහල් අධ්‍යක්ෂවරයාට උසස්වීම් ලබාදීමේ දී පරිපාලන දක්ෂතාවලට ලකුණු ලබාදීමේදී මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමටත් තීරණය කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.
සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ පසුගියදා පැවැති පළාත් සෞඛ්‍ය අමාත්‍ය සමුළුවේදී මෙම උපදෙස් ලබාදී තිබෙනවා. පළාත් සභා රෝහල්වල වෛද්‍ය සහ හෙද හිඟය සඳහා ස්ථාන මාරුවීම් ලබාදී තිබියදී අදාළ නිලධාරීන් නව සේවා ස්ථානයන්හී සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් ගැටලු රැසක් උද්ගතව ඇති බවයි එහිදී පළාත් සභා සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දුන් බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී තිබෙනවා.
මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල දිසා රෝහල මුලික රෝහලක් ලෙස පත් කරමින් සංවර්ධනය කිරීමට ද මෙහිදී තීරණය කෙරුණු අතර ඒ සඳහා රුපියල් මිලියන 485ක මුදලක් වැය කිරීමට නියමිතයි. අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ විදේශ ආයෝජනයක් මත රෝහල සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවයි.

 

Your Comments