ලොව පුරා ඉස්ලාමීය බැතිමතුන් අද හජ්ජි උත්සවය සමරයි

5

ලොව පුරා ඉස්ලාමීය බැතිමතුන් අද හජ් උත්සවය සමරනු ලබනවා.
ශුද්ධ වූ මක්කම නගරයේ ඉපදුණු නබි ඉබ්‍රාහිම් සහ ඔහුගේ පුත්‍රයා නබි ඉස්මායිල් යන දෙදෙනා සම්බන්ධයෙන් ඓතිහාසිකව වැදගත් වූ සහ ආගමික විශ්වාසයන් මත ගොඩනැගුනු සිදුවීමක් මුල් කර ගනිමිනුයි මෙම උත්සවය පැවැත්වෙන්නේ.
මෙමඟින් ඉස්ලාමීය ජනතාවගේ එකමුතුභාවයේ හරය සංකේතවත් කරනවා.
හජ් උත්සවය වෙනුවෙන් සුබ පැතුම් එක් කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙන්නේ ජාතිකත්වයේ හෝ පුද්ගල තරාතිරම් නොතකා සියලු බැතිමතුන් නොබෙදුනු මිනිස් ප්‍රජාවක් ලෙස මුසුවී නමදින ආගමික පූජෝත්සවයක් ලෙස මෙය හැඳින්විය හැකි බවයි.
විවිධ බෙදීම්වලින් එකම මිනිස් වග අවුලින් අවුලට පත් ලොවක අන්‍යෝන්‍ය වශයෙන් මිනිසුන් පැවැත්විය යුතු වැඳීමේ මහිමයට හජ් උත්සවය පුළුල් ආදර්ශයක් සපයන බව ද ජනාධිපතිවරයා පෙන්වාදෙනවා.
මේ අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද සුබ පැතුම් පණිවුඩයක් එක් කරමින් සඳහන් කරන්නේ මෙම උත්සවය සමානාත්මතාව සහ සහෝදරත්වය පිළිබඳව ලෝකයට ලබාදෙන පණිවුඩය ඉතා වැදගත් බවයි.
ඉස්ලාමිය ජනතාව තුළ අල්ලාහ් දෙවියන් පිළිබඳ පවතින විශ්වාසය, කැපවීම ශක්තිමත් කරමින් සමානාත්මතාව උදෙසා පරිත්‍යාගශීලි ජීවිතයකට දිරිගන්වන හජ් උත්සවය සමස්ථ ලෝකවාසීන්ට ආදර්ශයක් බව එම පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්.

Your Comments