UPDATE : පාර්ලිමේන්තුව විසුරවාහැරීමේ ජනපති තිරණයට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කරන්නැයි නීතිපති අධිකරණයට කියයි

285

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනාධිපතිවරයා ගත් තීරණයට එරෙහිව වන පෙත්සම් නිෂ්ප්‍රභා කරන ලෙස නීතිපතිවරයා අද අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් පාර්ශව 13ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් විභාගයේදී කරුණු දක්වමිනුයි නීතිපතිවරයා මෙම ඉල්ලීම සිදුකළේ.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපති ගත් තීරණයට එරෙහිව වන පෙත්සම් විභාග කිරීමේ බලයක් අධිකරණයට නොමැති බවයි නීතිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.
පවතින ගැටළුවට විසඳුම් ඇත්තේ ව්‍යවස්ථාදායකය හරහා බවද  නීතිපතිවරයා එහිදී ප්‍රකාශ කළා.
එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු පාර්ශව 13ක් මෙම පෙත්සම් ගොනු කර තිබුණා.


ජනපති තීන්දුවට එරෙහි පෙත්සම් විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නැතැයි නීතිපති අධිකරණයට කියයි [ Dec 5, 2018 @ 11:24 ]

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමට ශේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.
ඒ අදාළ පෙත්සම අද දෙවන දිනටත් සත් පුද්ගල ශේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද  විභාගයට ගත් අවස්ථාවේදීයි.
එහිදී නීතිපති ජයන්ත ජයසූරිය මහතා කියා සිටියේ ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත හැක්කේ පාර්ලිමේන්තුව තුළ පමණක් බවයි.
අගවිනිසුරු නලින් පෙරේරා මහතා ප්‍රමුඛ ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, සිසිර ද ආබෘ, විජිත් මළල්ගොඩ, බුවනෙක අළුවිහාරේ සහ මුර්දු ප්‍රනාන්දු සත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේි මෙම පෙත්සම් විභාග කිරීම ඊයේ  ආරම්භ වුණේ.
එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා මහජන කොංග්‍රසය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශව 13ක් විසින් පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.
මේ අතර මෙම පෙත්සම් විභාගයට මැදිහත් වීමට අවසර දෙන මෙන් ඉල්ලා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, ලක්ෂ්මන් වසන්ත පෙරේරා ඇතුළු නීතිඥ ධුර දරන පාර්ලිමේන්තුව මන්ත්‍රීවරු දසදෙනෙකු විසින් ද ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර ඇති බව සඳහන්.

 

 

Your Comments