පාර්ලිමේන්තුව නැවත කැඳවීමට පියවර ගන්නැයි අමෙරිකාව ජනපතිගෙන් යළි ඉල්ලයි

98

පවතින දේශපාලන අර්බුදය විසදීම සඳහා වහාම පාර්ලිමේන්තුව නැවත කැඳවීමට පියවර ගන්නා ලෙස අමෙරිකා එක්සත් ජනපදය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් යළි ඉල්ලීමක් කර තිබෙනවා.
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා හේදර් නයර් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තුව කැඳවීම ප්‍රමාදවීම තුළින් ශ්‍රී ලංකාවේ  කීර්තියට හානි සිදුවන බවයි.
රට තුළ යහපාලනය හා ස්ථාවරත්වය ඇති කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බව ඇය පෙන්වා දෙනවා.
මේ අතර ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ කණස්සල්ලට පත්ව සිටින බව බි්‍රතාන්‍යය ප්‍රකාශ කළා.
බි්‍රතාන්‍යයේ ආසියා හා පැසිෆික් කලාපීය අමාත්‍ය මාර්ක් ෆීල්ඞ් මහතා පෙන්වාදෙන්නේ බි්‍රතාන්‍ය කටයුතු කරනු ලබන්නේ රජයන් සමඟ නොව රාජ්‍යයන් සමඟ බවයි.
බි්‍රතාන්‍ය රජය  ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස පිළිගනු ලබන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවට එල්ල වූ පැනයකට පිළිතුරු ලබාදෙමින් මාර්ක් ෆීල්ඞ් මහතා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පවතින දේශපාලනික ගැටලුව නිරාකරණය කරගන්නා ලෙස තමන් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගෙන් සහ කථානායකවරයාගෙන් ඉල්ලා සිටි බව ඔහු එහිදී ප්‍රකාශ කර ඇති බව සඳහන්.
 

Your Comments