නෙටොල්පිටිය වාහන සේදුම් ස්ථාන හිමිකරුගේ ඝාතනයට සැකපිට දෙදෙනෙකු අත්අඩංගුවට
සුනෙත් ගාල්ලගේ - ගාල්ල

25

වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීම හා පුද්ගල ඝාතනයකට අනුබලදීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු තංගල්ල කොට්ඨාස අපරාධ අංශය හා තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (02) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තංගල්ල පට්ටිපොල ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි අයෙක් හා රන්න වීගමුව ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි අයෙකි.
ඝාතනයට අනුබලදීමේ චෝදනාව යටතේ නෙටොල්පිටිය ප්‍රදේශයේ පදිංචි අජිත් ප්‍රසන්න (41) නොහොත් පොල බේබී නමැත්තාද ඝාතනය සිදු කළ බව කියන රන්න ප්‍රදේශයේ පදිංචි නිමල් සමරවික්‍රම (49) නොහොත් දහනායක රනා නමැත්තායි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ඉකුත් 23 වනදා තංගල්ල නෙටොල්පිටිය වැලිආර ප්‍රදේශයේ වාහන සේදුම් ස්ථානයකදී එම සේවා ස්ථානයේ හිමිකරුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ තංගල්ල විතාරන්දෙණිය ප්‍රදේශයේදී සැකකරුවන් අත්අඩංගුවට ගැනුණු බවයි.
සැකකරුවන් සන්තකයේ තිබී ලේ තැවරුණු මන්නා පිහියක්, මුහුණ ආවරණය කළ ආරක්ෂක හිස් වැසුමක් ද සොයාගෙන තිබෙනවා. සැකකරුවන් අද (03) තංගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.

 

Your Comments