UPDATE : යළි අමාත්‍ය මණ්ඩලය රැස්වන තෙක් වැඩ වර්ජනයකට නොයාමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කරයි

32

එළඹෙන අඟහරුවාදා අමාත්‍ය මණ්ඩලය රැස් වෙන තෙක් යළිත් දුම්රිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් නොගැනීමට තීරණය කළ බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පවසනවා.

ඒ අද පෙරවරුවේ පැවැත්වු දුම්රිය වෘත්තීය සමිති සාකච්ඡාවකින් අනතුරුවයි.

ඊයේ දිනයේ දී සිය වැටුප් ඉහළ දැමීමට අදාළ කැබිනට් පත්‍රිකාව සාකච්ඡාවට නොගැනීම සම්බන්ධයෙන් මෙහිදී දැඩි අවධානය යොමු කර තිබෙනවා.

දුම්රිය රියැදුරු නියාමක, ස්ථානාධිපති, පාලක හා අධීක්ෂණ කළමනාකාර යන ශ්‍රේණිවල වැටුප් විෂමතා ඉවත් කිරීමේ කැබිනට් පත්‍රිකාව ඊයේ දිනයේ කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡාවට ගැනීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත්, එය සලකාබැලීම සතියකින් කල්දැමීමටයි අමාත්‍ය මණ්ඩලය තීරණය කළේ.


දුම්රිය වෘත්තීය සමිති හදිසියේ රැස්වෙයි

දුම්රිය රියැදුරු නියාමක, ස්ථානාධිපති, පාලක හා අධීක්ෂණ කළමනාකාර යන ශ්‍රේණිවල වැටුප් විෂමතා ඉවත් කිරීමේ කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක කිරීම පිළිබඳව ඊයේ පැවැති කැබිනට් රැස්වීමේදී තීරණයක් නොලැබීම නිසා නැවත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීම පිළිබඳව තීරණයක් ගැනීම සඳහා මේ වන විට දුම්රිය වෘත්තීය සමිති රැස්ව සිටින බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා NEWS24 වෙත අදහස් දක්වමින් කියා සිටියා.

මෙම ශ්‍රේණිවල වැටුප් විෂමතාව ඉවත් කිරීමේ කැබිනට් පත්‍රිකාව අත්හිටුවීම පිළිබඳව විරෝධය දක්වා දුම්රිය රියැදුරු, නියාමක, පාලක සහ ස්ථානාධිපතිවරුන් පසුගියද ක්‍රියාත්මක කළ අඛණ්ඩ වර්ජනය අවසන් කළේ එම කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක කරන බවට ජනාධිපතිවරයා දුන් පොරොන්දුව අනුව බවයි වාර්තා වන්නේ.

වැටුප් විෂමතාව ඉවත් කිරීමේ කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක කිරීම පිළිබඳව දුම්රිය වෘත්තීය සමිති පෙරේදා (13) දිනයේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සමග සාකච්ඡා කළ බවත් ජනාධිපතිවරයා පොරොන්දු වුවද තමාට එය කළ නොහැකි යැයිද එහිදී මුදල් ඇමැතිවරයා ප්‍රකාශ කළ බවත් සඳහන්.

Your Comments