ඥානසාර හිමියන්ට ජනාධිපති සමාවක් ලබාදීමට රජයේ අවධානය

19

සිරදඩුවම් නියම වී සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාවක් ලබාදෙන ලෙස ඉල්ලා එම සංවිධානය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
මෙම ලිපිය මගින් ප්‍රකාශ කර ඇත්තේ ඥාණසාර හිමියන් අධිකරණයේදී අදහස් පළ කළද එය කිසිවිටෙක අධිකරණයට අපහාස කිරීමේ අදහසකින් සිදුවූවක් නොවන බවයි.
එය රටේ හමුදා බුද්ධි නිලධාරීන් අනවශ්‍ය ලෙස සිරකර තැබීම පිළිබඳව කළ අහිංසක ඉල්ලීමක් බවද එහි දැක්වෙනවා.
එසේ කතා කිරීමෙන් වරදක් වූයේ නම් සමාවන ලෙස එම අවස්ථාවේදීම ඉල්ලා ඇති බවයි මෙම ලිපියේ තවදුරටත් සඳහන් වුණේ.
මෙම ක්‍රියාදාමය පිටුපස කිසියම් කුමන්ත්‍රණයක් පවතින බව සඳහන් කර ඇති බොදුබල  සේනා සංවිධානය සිය ලිපිය මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ මෙම තත්ත්වයන් සළකා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.
මේ අතර, ඥානාසර හිමියන්ට ජනාධිපති සමාව දීමේ හැකියාව සම්බන්ධයෙන් අදාළ පාර්ශව සමග සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ප්‍රකාශ කළා.
හෙතෙම මේ බව කියා සිටියේ ඥානසාර හිමියන්ගේ සුවදුක් විමසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

 

Your Comments