ජාතික පොසොන් සතිය ඇරඹෙයි – අනුරාධපුරයට විශේෂ දුම්රිය

9

ජාතික පොසොන් උත්සව සතිය ලබන 30 දක්වා ක්‍රියාත්මකයි.

අදින් ඇරඹුණු ජාතික පොසොන් සතිය පැවැත්වෙන්නේ ‘මෛත්‍රියෙන් සිත් නිවමු’ තේමාවෙන්.

අනුබුදු මිහිඳු මා හිමියන් ශ්‍රී ලංකාවට වැඩම කරවීම සිහිකරමින් අනුරාධපුර ජය ශ්‍රී මහා බොධීන් වහන්සේ, රුවන්වැලි මහා සෑය ඇතුළු අටමස්ථානයන්හි මෙන්ම මිහින්තලා රාජමහා විහාරය, තන්තිරිමලය රාජමහා විහාරය කේන්ද්‍රකර ගනිමින් පින්කම් රැසක් සිදු කරලීමට ද කටයුතු සංවිධාන කර තිබෙනවා.

වාර්ෂිකව සිදු කරන පැන් පෙරහරින් අනතුරුව ඊයේ (23) රාත්‍රී අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස දී සති පිරිත් දේශනය ආරම්භ කෙරුණා

මෙවර පොසොන් සමයේ අනුරාධපුර, මිහින්තලය, තන්තිරිමලය ඇතුළු සිද්ධස්ථාන වැඳපුදා ගැනීමට දිවයිනේ නන්දෙසින් පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාවට අවශ්‍ය ජලය, සෞඛ්‍ය හා සනීපාරක්ෂක සේවා, ප්‍රවාහන, ආරක්ෂාව මෙන්ම විදුලිය පහසුකම් ද සපයා ඇති බවයි පොසොන් කමිටුව සඳහන් කරන්නේ.

සුදුසු ඇඳුමින් සැරසී වන්දනාවේ පැමිණෙන ලෙසත් පුරාවිද්‍යා වස්තුන්වලට හානි සිදු නොකර පුදබිම්වල අපද්‍රව්‍ය නොදමා පිරිසිදුව තබා ගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතුව ඇතැයි ද පොසොන් කමිටුව ජනතාවට සිහිපත් කර සිටී.

මේ අතර පොසොන් පොහොය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන් වාර ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේනතුව පියවර ගෙන තිබෙනවා.
අනුරාධපුරය දක්වා එම ගමන් වාර ක්‍රියාත්මක කරන බවයි දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ මහතා පැවසුවේ.

Your Comments