ජලාශ රැසක් වාන් දමයි. – අදත් වැසි 

12

දැදුරුඔය, තබ්බෝව, රාජාංගණය, පරාක්‍රම සමුද්‍රය ඇතුලු ප්‍රධාන ජලාශ 10 ක වාන් දොරටු තවමත් විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. 
එමෙන්ම නිල්වලා, කැළණි සහ යාන් ඔයේද ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. 
නිල්වලා ගඟ පිටබැද්දර, පානදුගම, ඌරව ප්‍රදේශවලින් ජල මට්ටම ඉහළ ගොස් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 
කැළණි ගඟ, හොලම්බුව ප්‍රදේශයෙන් ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. 
මීට අමතරව යාන් ඔය, හොරොව්පතාන ප්‍රදේශයෙන් ජල මට්ටම ඉහළ ගොස් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
නාච්චාදූව සහ නුවරවැවේ හදිසි වාන් දොරටු විවෘත කිරීමත් සමඟ වාන් ජලය මල්වතු ඔයට එක්වී ඔය පිටාර ගැලීමට පටන්ගෙන තිබෙනවා. 
මේ හේතුවෙන් අනුරාධපුර නගරයේ සහ පූජා නගරයේ මල්වතු ඔය දෙපස පහත් බිම් බොහොමයක් මේ වනවිට ජලයෙන් යටව පවතින බවයි වාර්තාවන්නේ.
මේ අතර, පවතින අධික වර්ෂාවත් සමඟ පොළොන්නරුව – සෝමවතිය මාර්ගයේ දික්ගල ප්‍රදේශයෙන් ජලයෙන් යටවී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ එම මාර්ගය අඩි 3 ක් පමණ ජලයෙන් යටවීම හේතුවෙන් පූජා නගරයට පැමිණෙන වාහනවලට බාධා එල්ලවී ඇති බවයි. 
මේ අතර, පළාත් කිහිපයකට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වයේ තරමක අඩු වීමක් අද සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදේ පැවති අඩු පීඩන තත්ත්වය දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පැවතීම ඊට හේතුව බවයි කාර්යයේ නියුතු කාළගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න මහතා ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත් බොහෝ ප්‍රදේශවල තවදුරටත් වැසි අපේක්ෂා කරන බව ද ඔහු කියා සිටියා.
 

Your Comments