ගාල්ල තැපැල් කාර්යාලයෙන් සැඟවූ ලිපි සහ පාර්සල් තොගයක් හමුවෙයි – සිද්ධිය වාර්තා කිරිමට ගිය මාධ්‍යවේදියෙකුට බාධා

667

ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයේ අධික්ෂණ නිලධාරීන්ගේ කාමරයේ මාස කිහිපයක සිට සඟවා තිබු ලිපි දහස් ගණනක් අඩංගු තැපැල් මලු තොගයක් අද දකුණු පළාත් නියෝජ්‍ය තැපැල් ජනරාල්වරිය සහ ගාල්ල ප්‍රාදේශිය තැපැල් අධිකාරිවරිය විසින් සොයා ගෙන තිබෙනවා.

මෙම කාමරයට වෙනත් බාහිර පුද්ගලයින්ට ඇතුලු විමට නොහැකි අතර ඇතුලු විය හැක්කේ අධික්ෂණ නිලධාරීවරුන්ට පමණි.

එහිදී විදේශ රටවල සිටින පුද්ගලයින් විසින් මෙරට සිටින ඥාතින්ට එවන ලද ලිපි සහ පාර්සල් රැසක් කඩා තිබියදී සොයාගෙන ඇති අතර පසුගිය මැතිවරණ සමයේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇමතිවරුන් දෙදෙනෙකු විසින් ඡන්දදායකයින් වෙත යැවීමට භාරදෙන ලද ලිපි දහස් ගණනක් තිබූ බවද තැපැල් සේවකයෝ පවසා සිටියි.

මෙම සිද්ධිය සම්බන්ධව ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයෙන් විමසීමට NEWS24 වාර්තාකරු එහි ගිය අවස්ථාවේ නිලධාරින් සහ සේවකයින් පිරිසක් විසින් ඔහුට තැපැල් කාර්යාල පරිශ්‍රයෙන් පිටව යන ලෙස දැනුම් දි ඇත.

කෙසේ වෙතත් මහජනතාවට විවෘත පරිශ්‍රයක රැඳි සිටිමට කිසිවෙකුගෙන් අවසරයක් ගත යුතුද යන්න ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදි යලිත් පිටව යන ලෙස ඔවුන් විසින් NEWS24 මාධ්‍යවේදියාට යලිත් දැනුම් දි ඇත.

මෙම සිද්ධිය සම්බන්ධව ගාල්ල තැපැල් කාර්යාලයෙන් විමසීමක් කළ විට එහි ප්‍රකාශකයෙකු පැවසුවේ ලිපි තොගයක් හමුවිමේ සිද්ධියක් සම්බන්ධව ඉහළ නිලධාරින් පිරිසක් විසින් විමර්ශනයක් පවත්වන බවයි.

Your Comments