ගලහ කලහකාරී සිද්ධිය ගැන විශේෂ විමර්ශනයක්

18

මහනුවර ගලහ ප්‍රාදේශීය රෝහලේදී කුඩා දරුවෙකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.
පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ශාන්ති සමරසිංහ මහත්මිය කියා සිටියේ ඒ සඳහා අමාත්‍යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් පත් කර ඇති බවයි.
මේ අතර, එම සිද්ධියේදී විරෝධතාකරුවන් රෝහලට සිදුකළ අලාභහානි සම්බන්ධයෙන් ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව ගලහ පොලීසිය ප්‍රකාශ කළා.
මහනුවර – ගලහ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ අවුරුදු එකහමාරක් පමණ වයසැති කුඩා දරුවෙකු මියයාමත් සමඟ ඊයේ පස්වරුවේ එම රෝහල් භූමියේ දැඩි නොසන්සුන්කාරී තත්වයක් හටගත්තා.
කලහකාරී ලෙස හැසිරුණු පිරිස විසුරුවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කළ බවයි නිව්ස් 24 වාර්තාකරු පැවසුවේ.
කෙසේ වෙතත්, ඊයේ රාත්‍රී 8 පමණ වන තුරු එම පිරිස රෝහල් භූමියේ කලහකාරී ලෙස හැසිරී ඇති අතර, පසුව රෝහලට ගල් මුල් ප්‍රහාරයක් ද එල්ල කර තිබෙනවා.
ප්‍රදේශවාසීන්ගේ විරෝධතාව මධ්‍යයේ පිටතට පැමිණීමට නොහැකිව සිටි රෝහල් ස්ථාන භාර වෛද්‍යවරයා පොලීසිය විසින් එම ස්ථානයෙන් ඉවත් කර ගනු ලැබුවේ පොලිස් නිළ ඇඳුමක් උපයෝගී කර ගනිමින්.

Your Comments