Home දේශීය පුවත් ඒකාධිපති පාලනයකට යළි ඉඩ නොතබන බව ජනපති අවධාරණය කරයි

ඒකාධිපති පාලනයකට යළි ඉඩ නොතබන බව ජනපති අවධාරණය කරයි

3

ඒකාධිපති පාලනයකට යළි රට තුළ ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

අද පෙරවරුවේ නිකවැරටිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.

ඒකාධිපති පාලනයක යුගය නිමා කරමින් ජනතාව ඉල්ලා සිටි නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සියයට සියයකින් නොව සියයට දෙසීයකින් අද රට තුළ තහවුරු කර ඇති බව පැවසූ ජනපති ඒ තුළ පන නැති පාලනයක් ලෙස වත්මන් පාලනය හඳුන්වාදීමට ඇතැමුන් කටයුතු කළ ද එය නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවදය සමග යන ගමනක් බව ඔවුන් සියලුදෙනා අවබෝධ කරගතයුතු බව කියා සිටියේය.

ලැබී ඇති නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වැරදි අන්දමින් භාවිතා කරමින් රජයට පහරදීමට ඇතැමුන් කටයුතු කළ ද රටේ උගතුන්, බුද්ධිමතුන් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන සියලුදෙනා එක්කර ගනිමින් රටට අවශ්‍ය නිවැරදි දේශපාලන සහ සංවර්ධන ගමන තවදුරටත් ශක්තිමත් කරමින් ඉදිරියට ගෙන යන බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

පසුගිය වසර තුන හමාර තුළ රට තුළ තහවුරු කළ නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සමගින් දුරස්වී සිටි ජාත්‍යන්තරය යළි මාතෘභූමියට සමීප කරවීමට මෙන්ම රටට ජයග‍්‍රහණ රැසක් අත්කරදීමට හැකි වූ බව මෙහිදී සිහිපත් කළ මෛත්‍රිපාල සිරිසේන මහතා රට දිනාගත් ගමන ආපසු හැරවීමට කිසිවෙකු දායක නොවිය යුතු බව ද අවධාරණය කළේය.

මේ අතර නව උදා ගම්මාන වැඩසටහන යටතේ 81 වැනි උදා ගම්මානය වන කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය, කොටවෙහෙර, වෙහෙරපුර, නිවාස ව්‍යාපෘතිය අද (21) මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ජනතා අයිතියට පැවරුණා.

අක්කර 6.67 ක් භූමි භාගයක ඉදිකර තිබෙන ව්‍යාපෘතිය නිවාස 32කින් සමන්විතයි.
විදුලිය හා පිරිසිදු පානීය ජල සැපයුමක් සහ විධිමත්ව සකස් කළ ප්‍රවේශ සහ අභ්‍යන්තර මාර්ග පද්ධතියකින් ද සමන්විත අංග සම්පූර්ණ ආදර්ශ ගම්මානයක් ලෙස ඉදිකර තිබේ.

නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.

ආදර්ශ ගම්මානයේ ඔසු උයන ද ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක්වූ අතර නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පවරාදීම සංකේතවත් කරමින් ජනාධිපතිතුමා අතින් නා පැළයක් ද රෝපණය කෙරිණි.

නිවාසලාභීන් වෙත සංකේතාත්මකව යතුරු ප්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදුවිය.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස, ගාමිණි ජයවික්‍රම පෙරේරා, එස්.බී. නාවින්න, නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක යන මහත්වරුන් ඇතුළු පලාතේ දේශපාලන නියෝජිතයින් රැසක් ද නිවාස හා ඉදිකිරිම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share this Article!

Your Comments